
අලුත් අවුරුදු සතුට සමගින් එකට එක්වූ පවුලක සිනහව, නිමේෂයකින් මහා විලාපයක් බවට පත් කරමින් මුළු රටම කඳුළින් නෑවූ අවාසනාවන්ත පුවතක් පසුගියදා අසන්නට ලැබිණි. එකම පවුලක සාමාජිකයන් සහ සමීපතමයන් පිරිසක් එක්ව ගතකළ නිවාඩුව, කිසිදිනෙක නොසිතූ අයුරින් මරණයේ නිම්නයක් කරා ඔවුන්ව රැගෙන ගියේ කාගේත් සිත් කම්පා කරමිනි.
අප්‍රේල් 16 වැනිදා කොබෙයිගනේ, ඇබලයගම කුරියගහ මංකඩ අසලින් ගලා බසින දැදුරු ඔයේ දිය නෑමට ගිය පිරිසකගෙන් අට දෙනෙකු දරුණු ලෙස දියේ ගිලී මියයාම එම ඛේදවාචකයයි. ප්‍රදේශවාසීන් අතර ‘කලිය’ නමින් හැඳින්වෙන දැදුරු ඔයේ වූ ගැඹුරු වළකට බිලි වූවන්ගෙන් හත් දෙනෙකුම එකම පවුලේ සාමාජිකයන් වීම මෙහි ඇති වඩාත් සංවේදීම කරුණයි.
මෙම මහා ව්‍යසනයෙන් 49 හැවිරිදි සමීර ප්‍රදීප්, ඔහුගේ 34 හැවිරිදි බිරිඳ ශ්‍යාමලී කුසුමී සහ ඔවුන්ගේ 10 හැවිරිදි පුතු අගේන් නිම්සර යන කුඩා පවුලම මෙලොව හැර ගියේය. ඊට අමතරව 72 හැවිරිදි ධර්මදාස සහ 70 හැවිරිදි ආනන්ද යන වැඩිහිටියන් ද, 42 හැවිරිදි නිරෝෂා ලක්මාලි සහ ඇගේ 13 හැවිරිදි පුතු දිනෙත් මධුෂාන් ද, ඔවුන්ගේ හිතවතෙකුගේ 18 හැවිරිදි පුතෙකු වන සෙනුර කවින්ද ද මේ අකල් මරණයට ගොදුරු වූහ. අනාගතය වෙනුවෙන් සිහින දුටු, උසස් පෙළ සහ පාසල් අධ්‍යාපනය ලබමින් සිටි දරුවන් තිදෙනෙකුගේ පොත්පත් සදහටම වැසී ගියේ ඔවුන්ගේ මාපියන් ද ඒ ආසන්නයේම අවසන් හුස්ම හෙළද්දීය.
සිද්ධිය ඇසින් දුටුවන් හා ප්‍රදේශවාසීන් පවසන පරිදි, වැලි සහ මඩ පිරුණු මෙම ගැඹුරු වළට මුලින්ම එක් අයෙකු ලිස්සා ගොස් ඇති අතර, ඔහුව බේරාගැනීමට අනෙකා ද, ඒ අයුරින්ම එකා පසුපස එකා දියේ ගිලී ගොස් ඇත. මේ මහා විනාශය මැද දිවි ගලවා ගත්තේ ගුවන් හමුදාවේ සේවය කරන රෝෂාණි ආනන්ද සහ ඇගේ සැමියා වන දිලිප් යසස් පමණි. ප්‍රදේශවාසීන්ගේ දැඩි උත්සාහයෙන් ඔවුන් බේරාගෙන රෝහල්ගත කළද, ඇය තවමත් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් පසුවන්නීය.
මෙය හුදෙක් එක් අහඹු සිදුවීමක් පමණක් නොවේ. මරණය සැඟවී සිටින මෙම ස්ථානය මීට පෙරද බිලි ගත් මාරක තොටුපළකි. 2024 වසරේදී සිසුන් දෙදෙනෙකුද, 2025 වසරේදී උපන්දින සාදයකට පැමිණි තරුණයෙකුද මෙලෙසම මෙම ස්ථානයේදී දිවි අහිමි කර ගත්හ. උත්සව සමය යනු දිය කෙළියේ යෙදෙන කාලයක් වුවද, අප්‍රේල් 12 සිට 16 දක්වා වූ කෙටි දින කිහිපය තුළ පමණක් දිවයින පුරා දියේ ගිලීම් හේතුවෙන් වාර්තා වූ මරණ සංඛ්‍යාව 20කට අධික වීම බරපතල සමාජ ප්‍රශ්නයක් මතු කරයි.
නොදන්නා සහ අනාරක්ෂිත ස්ථානවල දිය නෑමට යාමත්, බීමත්ව දිය නෑමට යාමත් මෙවැනි ඛේදවාචකයන්ට ප්‍රධානතම හේතුව බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පෙන්වා දෙයි. අනතුරු ඇඟවීම් සහ ජීවිතාරක්ෂක සේවා සපයා ඇති ආරක්ෂිත කලාප හඳුන්වා දී තිබියදීත්, ජනතාව තවමත් තාවකාලික විනෝදය වෙනුවෙන් ජීවිතය පරදුවට තබන්නේ ඇයිද යන්න බලධාරීන්ට මෙන්ම සමාජයටද විසඳිය නොහැකි ගැටලුවක්ව පවතී.
දියකඩක් දුටු පමණින් එයට පැන සතුටු වීමට පෙර, ඒ නිසල දිය මතුපිටට යටින් සැඟවී ඇති මරණයේ ගැඹුර පිළිබඳව යළි යළිත් සිතා බැලීම, මෙවැනි අකල් මරණ වළක්වා ගැනීමට ඇති එකම මඟ වනු ඇත.


