
මේෂ ලග්නය
ජය අංකය: 02 | සුබ වර්ණය: රතු
තමන්ගේම වෘත්තියක් හෝ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සුබ කාලයක් එළැඹේ. අලුත් අවුරුද්දේ වැඩිම වාසිදායක තත්ත්වයක් අත්වන්නේ මේෂ ලග්න හිමියාටය. එයට හේතුවන්නේ රාහු ග්‍රහයා එකොළොස්වැන්නේ (ඊසාන දිශාවෙන්) සහ ගුරු හතරවැන්නේ බලවත් වීමයි. ඒ අනුව ඉදිරි කාලය සෑම ක්‍රමයකින්ම සාර්ථක රටාවකට ගමන් කරයි.
දැනට සෙනසුරු ග්‍රහයා දොළොස්වැන්නේ ගමන් කිරීම ඒරාෂ්ටක තත්ත්වයක් ලෙස සලකා වැරදි අවබෝධයක් ඇති කර ගත හැක. නමුත් එය ඒරාෂ්ටක තත්ත්වයක් වුවත්, එයට බියවිය යුතු නැත. මෙයින් මේෂ ලග්න හිමියන් අනියත බියක් ඇති කර ගන්නවාට වඩා ධෛර්ය සම්පන්න වී, තමන් පටන් ගත් වැඩ අතරමග අත්නොහැර අවසානය දක්වා ගමන් කිරීමට අවශ්‍ය ධෛර්යය ලැබීමක් ලෙස පෙන්නුම් කරයි.
ගුරු හතරවැන්නේ ගමන් කිරීමෙන් අධ්‍යාපනය, ඉදිකිරීම් කටයුතු සහ අලුත් ව්‍යාපාර ආරම්භ කිරීමට අවස්ථාව උදාවේ. විශේෂයෙන් උසස් අධ්‍යාපනයේ නිරත මේෂ ලග්න හිමියන්ට මෙය ඉතා අනගි අවස්ථාවකි. තරග විභාගවලින් ජයග්‍රහණය කිරීමට හැකියාව පවතී.
තමන්ගේම වෘත්තියක් හෝ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට බලා සිටි මේෂ ලග්න හිමියෙකුට මෙය වැඩිම වාසි අත්කර ගත හැකි කාලයකි. රැකියා උසස්වීම්, වැඩි වැටුප් හා වරප්‍රසාද ලැබීමට වාසනාව හිමි වේ.
ආහාරපාන ගැනීමේදී වැඩි පරිස්සමක් ඇති කරගත යුතු වේ. අපත්‍ය ආහාර ගැනීම හේතුවෙන් මුඛ කුහරය, ආමාශය, අක්මාව සහ වකුගඩු සම්බන්ධයෙන් ගැටලු හටගැනීමට ඇති ඉඩකඩ වැඩිය. හවුලේ කරන කටයුතුවලට එතරම් සුබ වන්නේ නැත.
වෘෂභ ලග්නය
ජය අංකය: 03 | සුබ වර්ණය: සුදු
ජනප්‍රියත්වය, ප්‍රසිද්ධිය සහ ජනකාන්තභාවය ලැබීමට වාසනාව ඇත.
මේ වසරේ අගභාගයේදී වෘෂභ ලග්න හිමියන් පිවිසෙන්නේ තමන්ගේ ජීවිතයේ සන්ධිස්ථානයකටය. ඔවුන් දැනට කරමින් සිටින රැකියාව, පදිංචි ස්ථානය, වෘත්තීය තත්ත්වයන් සහ විදේශගත වීම් වැනි කටයුතු පිළිබඳව ඉතා දුරදිග බලා තීරණ ගත යුතුය. එවැනි දෑ වැරදවා ගත්තහොත් මෙතෙක් ලබා තිබූ ජයග්‍රහණ අහෝසි වීමට පුළුවන.
එමෙන්ම අනාගතයේ ලැබීමට ඇති ජයග්‍රහණයන් අහෝසි වීමටද ඉඩ ඇත. යම්කිසි දෙයක් ආරම්භ කිරීමට සූදානම් වන්නේ නම්, එය ඉෂ්ට කර ගැනීමට වෙහෙස නොබලා සාර්ථකව වැඩ කළ යුතුය.
බෙල්ල ආශ්‍රිත රෝග ඇති වෘෂභ ලග්න හිමියන් ප්‍රවේශම් විය යුතුය. තමන් නිදාගන්නා ඉරියව්ව වෙනස් කිරීමෙන් සහ දේශීය ප්‍රතිකාරවලින් මේවා සුවපත් කරගත හැකිය. නමුත් දිගුකාලීනව බෙල්ල ආශ්‍රිතව පීඩා විඳින්නේ නම් නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම අනිවාර්යයෙන්ම කළ යුතු වේ.
ගෙදොර ඉඩකඩම් මිලට ගැනීම, විකිණීම සහ ඉදිකිරීම් කරන අයගේ වේගය අඩුවුවද උපරිම ප්‍රයෝජන ගත හැකිය. ඒ නිසා ඉක්මන්කාරී නොවී කාලයට ඉඩ දී තීරණ ගතහොත් නිවාස හා දේපොළ සම්බන්ධයෙන් ජයග්‍රහණ ලබාගැනීමට හැකිය.
තමන්ටම ආවේණික නිර්මාණශීලී අයුරින් සිතා වැඩ කළහොත් 2026 වසරේදී මූල්‍යමය, සමාජීය සහ දේශපාලන වශයෙන් ජයග්‍රහණ බොහොමයක් ලබාගත හැකිය. හිසරදය, ඉරුවාරදය බහුල විය හැක. මානසික පීඩනය ඇති විය හැක.
විවාහ වීමට බලාපොරොත්තු වන වෘෂභ ලග්න හිමියන් මේ වසරේ අග භාගය වනතුරුම ඉතා විමසිලිමත්ව කටයුතු කළ යුතුය.
මිථුන ලග්නය
ජය අංකය: 07 | සුබ වර්ණය: කොළ
සමාජ බලයක් සහ කැපී පෙනෙන ආකර්ෂණයක් ලැබේ.
එළැඹෙන අලුත් අවුරුද්ද මිථුන ලග්න හිමියාට අලුත් ආරම්භයක් ඇතිවන වසරකි. දසවැන්නේ ගමන් කරන සෙනසුරු පෙර තිබූ බාධක තත්ත්වයන් මඟහරවා ඇත. රැකියාව, වෘත්තිය සහ ව්‍යාපාරය සම්බන්ධව තමන්ගේ තනිමතයට වැඩ කිරීමටත්, අලුත් දේවල් ආරම්භ කිරීමටත්, තරගකාරී ඉසව්වලින් ජයගත හැකි අවස්ථාවනුත් ලබා දී ඇත. තනතුරු ලැබේ. තරග විභාග ජය හිමි වේ.
ව්‍යාපාර සහ දේශපාලනය කරන අයට පෙරට වඩා ස්ථාවර භාවයකින් ඉදිරි ගමනක් යා හැකිය. 2026 අගභාගය දක්වාම තමන් දැනට කරමින් සිටින රැකියාව, වෘත්තිය, ව්‍යාපාරය සහ අධ්‍යාපනයට සුබය. දේශපාලනයට පිවිසීමට සිටින මිථුන ලග්න හිමියන්ටද මෙය සුබ කාලයකි.
මිථුන ලග්න හිමියන්ගේ කේන්ද්‍රයේ ගුරු ග්‍රහයා ගමන් කරමින් සිටින්නේ දෙවැන්නේය. ආහාරපාන ගැනීම සම්බන්ධයෙන් ප්‍රවේශම් විය යුතුය. නිදන්ගත රෝග තත්ත්වයන් උද්ගත විය හැකිය. අක්මා රෝග, වකුගඩු ආබාධ සහ තයිරොක්සින් සඳහා ප්‍රතිකාර ලබන අය ප්‍රවේශම් විය යුතුය.
විවාහය සම්බන්ධයෙන් බාධා තත්ත්වයක් තිබුණත් ජුනි මාසයෙන් පසු එම බාධා ඉවත් වේ. ජුනි මාසයෙන් පසු හවුල් ව්‍යාපාරවලට සුබය. එමෙන්ම නායකත්වයක් දරන, හොඳ මඟපෙන්වන්නෙකු බවට පත්වීමටත්, සමාජ බලයක් සහ කැපී පෙනෙන ආකර්ෂණයක් හිමි කර ගැනීමටත් අවස්ථාව උදා කර ගනී.
කටක ලග්නය
ජය අංකය: 04 | සුබ වර්ණය: සුදු
පිළිගැනීමක්, ගෞරවයක් සහ ප්‍රසාදයක් හිමි වේ.
මේෂ ලග්නයට දෙවැනිව 2026 වසරේ උදාවන හොඳම ලග්නය මෙයයි. ගුරු ග්‍රහයා ඉතා බලවත් විදිහට ලග්න ක්ෂේත්‍රයේ ගමන් කරමින් සිටීම නිසා පසුගිය අවුරුදු ගණනාවක් තිස්සේ කටක ලග්න හිමියන්ට අධ්‍යාපනික, රැකියා සහ යුග ජීවිතය සම්බන්ධයෙන් තිබූ ගැටලු මැඩගෙන, විශේෂයෙන් පෞරුෂ වර්ධනයක් සිදුවේ.
විශේෂයෙන් තමන්ගේ හැකියාවන් සහ ආත්ම ශක්තියෙන් ඉදිරියට යන වසරකි. අධ්‍යාපනය ලබන කටක ලග්න හිමියන්ට ප්‍රාථමික අධ්‍යාපනයේ සිට ආචාර්ය උපාධිය දක්වාම ඉතා දක්ෂ ලෙස අධ්‍යාපන ඉලක්ක ජයගැනීමේ හැකියාව පවතී. වෙනදාට වඩා ප්‍රසිද්ධව සහ දුරදර්ශීව කල්පනා කරන නිසා සමාජයේ පිළිගැනීමක්, ගෞරවයක් සහ ප්‍රසාදයක් ඇති වේ. මීට පෙර ඉවත් වූ අය නැවත ළඟා වේ.
මෙතෙක් හමු වී නොමැති උසස් පුද්ගලයින්, උසස් ආයතන සහ උසස් සමාජ තත්ත්වයන් ලැබේ. අධ්‍යාපනික ජයග්‍රහණ අත්වේ. බොහෝ දෙනෙකුට පරෝපකාරී ලෙස හරි මඟ පෙන්වා තමනුත් ඒ නිවැරදි මඟේ යාමට හැකියාවක් පවතී. එම ස්ථානවල නායකයින් බවට පත්වනු ඇත.
අලුතින් විවාහ සම්බන්ධතාවලට එළඹෙන කටක ලග්න හිමියන්ට යම් බාධාවන් ඉදිරි වසර පුරාම පැවතිය හැක. ඒ නිසා විවාහයට ඇතුළත් වීමේදී කටක ලග්න හිමියන් විමසිලිමත්ව, දුර දක්නා නුවණින් කටයුතු කළ යුතුය.
ආහාරපාන සහ ඖෂධවලින් ආසාත්මිකතා ඇති විය හැකි බැවින් පරිස්සම් වන්න. වැඩිහිටි පිරිමි අය ආහාර ජීර්ණ ක්‍රියාවලිය පිළිබඳව ප්‍රවේශම් විය යුතුය. 2026 වසර කටක ලග්න හිමියන්ට ජීවිතයේ කවදාවත් අමතක නොවන විජයග්‍රාහී වසරක් වනු ඇත.
සිංහ ලග්නය
ජය අංකය: 08 | සුබ වර්ණය: රතු
අභියෝගාත්මක සහ පෙරළිකාර තීරණ ගැනීම් සිදුවන ජයග්‍රාහී වසරකි.
2026 වසර ලබනවාත් සමඟම කේතු ලග්නයෙත්, රාහු 7 වැන්නෙත් ගමන් කරමින් සිටී. වසර අග භාගය දක්වාම නෙප්චූන් 8 වැන්නේ ගමන් කරයි. ඒ අනුව පෙර තිබූ තත්ත්වයෙන්ම සියල්ල සිදුවෙමින් පවතී. සෙනසුරු 8 වැන්නේ ගමන් කිරීම අෂ්ටම ඒරාෂ්ටක තත්ත්වයක් වුවද ඒ ගැන අනියත බියක් ඇතිකරගත යුතු නැත.
තමන් ළඟ ඉන්න පුද්ගලයා ගැන පවා සැක සංකා ඇතිවිය හැකිය. නින්ද සම්බන්ධ ගැටලු ඇතිවිය හැකිය. දේශපාලන ක්ෂේත්‍රයේ සහ ව්‍යාපාර ක්ෂේත්‍රයේ ඉන්න අයට මෙන්ම, තාක්ෂණික ක්ෂේත්‍රයේ වැඩකරන සිංහ ලග්න හිමියන්ට අනෙක් සියලු දෙනා පරාජයට පත්කරමින් ජයග්‍රහණය ලැබිය හැකිය.
අපත්‍ය ආහාරපාන සහ අනිසි ඇවතුම් පැවතුම් යනාදියෙන් පරිස්සම් විය යුතු වේ. ගින්දර, ගෑස්, රසායනික ද්‍රව්‍ය යනාදියෙන් මෙන්ම විෂ සහිත සතුන් සහ ශාක යනාදියෙන් හැකිතාක් ඈතින් සිටීමට වගබලා ගත යුතුය. කෙසේ නමුත් 2026 සිංහ ලග්න හිමියන්ට අභියෝගාත්මක සහ පෙරළිකාර තීරණ ගැනීමට සිදුවන ජයග්‍රාහී වසරකි.
කන්‍යා ලග්නය
ජය අංකය: 09 | සුබ වර්ණය: කොළ
ගෞරවයක් සහ ප්‍රබුද්ධ භාවයක් ලැබීමේ වාසනාව හිමි වේ.
කන්‍යා ලග්න හිමියන්ට 2026 අලුත් අවුරුද්ද එළඹෙනුයේ ඉතා බලවත් තත්ත්වයකින් යුතුවය. ඊට හේතුව සෙනසුරු ග්‍රහයා ඉතා බලවත් තත්ත්වයෙන් යුතුව 7 වැන්නේ ගමන් කිරීමයි. රාහු ග්‍රහයා 6 වැන්නේ ගමන් කරන අතර ගුරු ග්‍රහයා 11 වැන්නේ ගමන් කරයි.
මෙම ග්‍රහ පිහිටීම් තුනම කන්‍යා ලග්න හිමියාට කායික, මානසික, සමාජයීය, දේශපාලනික, ව්‍යාපාරික සහ සාමාන්‍ය යුගජීවිතය සම්බන්ධයෙනුත් ඉතා හොඳ කාලයකට පසුව ලැබුණු බලවත් පිහිටීමක් වේ. ජීවිතයේ අත්කර ගත නොහැකි වූ දේවල් සහ පරාජයන් නැවත ලබාගැනීමේ වාසනා ගුණය 2026 අප්‍රේල් මාසයේ සිටම ලැබීමට ආරම්භ වේ.
අලුතින් පටන් ගන්නා වෘත්තීය කටයුතු, අධ්‍යාපනික කටයුතු, සමාජමය කටයුතු සහ දේශපාලනික කටයුතුවලට සුබදායකය. ලංකාව ඇතුළත මෙන්ම ලංකාවෙන් පිටතදීත් ධනය ඉපයීමේ වාසනාව ඇත. පිරිස් පාලනය, සේවා සම්බන්ධ අංශ, හෝටල්, සත්කාරක, සංචාරක සහ කර්මාන්ත ආශ්‍රිතව වැඩ කරන අයට ඉදිරි කාලය සුබ වේ. විදේශගත වීම්වලට වාසනාව ඇත.
ප්‍රේමයට සහ විවාහයට කාලය හොඳය; විශ්වසනීය සම්බන්ධතා ඇති වේ. ගුරු ග්‍රහයා 11 වැන්නේ බලවත් වීම නිසා වෙනදාට වඩා පිළිගැනීමක්, ගෞරවයක් සහ ප්‍රබුද්ධ භාවයක් ලැබීමේ වාසනාව හිමි වේ. අධ්‍යාපනය ලබන කන්‍යා ලග්න හිමියන්ට විභාගවලින් ඉහළ සාමාර්ථ ලබා ගැනීමේ හැකියාව ඇත. වෙනදාට වඩා මානසික සහ ශාරීරික වශයෙන් නිරෝගී, ශක්තිමත් සහ ප්‍රසන්න භාවයක් පෙන්නුම් කරනු ඇත. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගත් කල මේ කාලය කන්‍යා ලග්න හිමියන්ට සුබ කාලයකි.
තුලා ලග්නය
ජය අංකය: 03 | සුබ වර්ණය: සුදු
ඕනෑම බාධකයක් ජය ගැනීමට ශක්තිය ලැබේ.
අලුත් අවුරුදු උදාව සිදුවන විට තුලා ලග්න හිමියන්ගේ කේන්දරයේ රාහු ග්‍රහයා පස්වැන්නේ යන ගමන හේතුවෙන් ඉදිරි මාස කිහිපයට යම් බාධාකාරී තත්ත්වයන් පෙන්නුම් කරයි. විශේෂයෙන්ම උසස් අධ්‍යාපනය, ප්‍රේමය හා විවාහය, අලුත් රැකියා ස්ථාන සොයා ගැනීම සහ රැකියා මාරුකිරීම වැනි කටයුතුවලදී පරිස්සම් විය යුතුය.
රැකියා සොයාගැනීමට, රැකියා අහිමි කරගැනීමට හෝ අලුතින් දේවල් පටන් ගැනීමට මෙය සුදුසු කාලයක් නොවනු ඇත. එහෙත් 2026 දෙසැම්බර් මාසයේ සිට අලුත් රැකියාවන් සඳහා සහ අලුත් වැඩ පටන් ගැනීමට කාලය පැමිණේ. සෙනසුරු 6 වැන්නේ බලවත්ව ගමන් කරන අතර ඉදිරියේදී එන ඕනෑම බාධකයක් ජය ගැනීමට ශක්තිය ලැබේ.
තුලා ලග්නයෙන් උපන් ස්ත්‍රීන් තරමක් පරිස්සම් විය යුතුය. නිදන්ගතව ගර්භාෂය ආශ්‍රිතව රෝග තිබෙන අය සහ පුරුෂ පක්ෂයෙන් පුරස්ථිති ග්‍රන්ථිය ආශ්‍රිත රෝග තිබෙන අය පරිස්සම් විය යුතුය. ඒ වගේම ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව අක්මාව, වකුගඩු සහ කොඳු ඇටපෙළෙහි යටිකොටස සම්බන්ධ රෝගවලින් පෙළෙන අය පරිස්සම් විය යුතුය.
එසේම ආහාරපාන ගැනීමේදී විෂ සහිත ආහාර ගැනීම්, ගින්දර සහ විදුලියෙන් ප්‍රවේශම් විය යුතුයි. 2026 ජුනි මාසයේ සිට තුලා ලග්න හිමියන්ට රැකියාවක නිරත වෙමින් උසස් අධ්‍යාපනය ලැබීමටත්, උසස් අධ්‍යාපනය ලබන අතරතුර ආදායම් මාර්ග සොයා ගැනීමටත් අවස්ථාවක් හිමි වේ. තුලාවෙන් උපන් පිරිමි පාර්ශ්වය ආහාරපාන සහ මත්වන ද්‍රව්‍ය ගැනීමේදී පරිස්සම් විය යුතුය.
වෘශ්චික ලග්නය
ජය අංකය: 08 | සුබ වර්ණය: රතු
පර්යේෂණ සහ ශාස්ත්‍රීය කටයුතුවලට ඉතාම සුබය.
අලුත් අවුරුද්ද ආරම්භ වීමත් සමඟ වෘශ්චික ලග්න හිමියන් ඉතා බලවත්ව තම කටයුතු ආරම්භ කරන අතර එයට හේතුව වන්නේ ගුරු ග්‍රහයා බලවත්ව 9 වැන්නේ ගමන් කිරීමයි. රාහු 4 වැන්නේ, කේතු 10 වැන්නේ සහ සෙනසුරු 5 වැන්නේ ගමන් කිරීමද විශිෂ්ටය. මේ හේතුව නිසාම වෘශ්චික ලග්න හිමියන් මේ වන විට හොබවන කිසියම් රැකියාවක්, තනතුරක් හෝ ව්‍යාපාරයක් ඉදිරි වසරක කාලයේත්, ඊට පසුව එන වසරේදීත් වර්ධනය වේ. ඔවුන්ගේ බලය වර්ධනය වේ. උසස්වීම් සහ වැඩි වැටුප් ඇතුළු මේ සියල්ල ලැබේ.
ප්‍රේමය සහ විවාහය මෙන්ම හවුලේ ඇති කරගන්නා ගිවිසුම්වලදීත් වෘශ්චික ලග්න හිමියන් කල්පනාකාරී විය යුතුය. මෙහිදී බරපතළ ගණයේ සමාජ අපවාදයන්ට සහ නීතිමය ගැටලුවලට මැදිවිය හැකිය. හවුලේ කරන කටයුතුවලදී ඉතාම පරිස්සම් විය යුතුය. උසස් අධ්‍යාපනය ලැබීම, පර්යේෂණ කටයුතු සහ ශාස්ත්‍රීය කටයුතුවලට ඉතාම සුබය.
නෙප්චූන් ග්‍රහයාගේ පිහිටීම අනුව ඔබේ නිර්මාණශීලීත්වය වැඩිවීමක් සහ අනෙක් අයට වඩා වෙනස් ආකාරයෙන් සිතීමක් දැකිය හැකිය. ශාරීරික තත්ත්වය ගැන සලකන විට ඉතාම පරිස්සම් විය යුතුය. අක්මාව, වකුගඩු සහ කොඳු ඇට පෙළේ යට කොටස සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතුය.
ඒ වගේම හෘද සහ පෙනහළු රෝගවලින් පීඩා විඳින වෘශ්චික ලග්න හිමියන් පරිස්සම් විය යුතු කාලයක් ලෙස මෙය දැක්විය හැකිය. සමස්තයක් ලෙස වෘශ්චික ලග්න හිමියා ආර්ථික, වෘත්තීය සහ සමාජීය වශයෙන් බලවත් ගමනක ආරම්භය ලබා ගන්නා බව කිව හැකිය.
ධනු ලග්නය
ජය අංකය: 04 | සුබ වර්ණය: නිල්
සෞඛ්‍ය රැකගත්තොත් ජයග්‍රාහී වසරක් වේ.
මේ වසර ධනු ලග්න හිමියන්ට සුවිශේෂී වසරක් වන අතර ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය කෙරෙහි සියයට සියයක්ම පරිස්සම් විය යුතුය. පාරම්පරිකව එන රුධිරගත මේදය, රුධිරගත සීනි, අක්මා සහ වකුගඩු ආබාධ, අධික බර සම්බන්ධව මෙන්ම හෝමෝන ඌනතාවයන් සම්බන්ධව මේ ඉදිරි වසරක කාලය අතිශයින්ම පරිස්සම් විය යුතුය.
බඩවැල්වල තුවාල හටගැනීම, ආමාශයේ තුවාල වැනි තත්ත්වයන් හටගැනීම සහ සමේ රෝග ඇතිවීම් සිදුවිය හැකිය. තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිත රෝගවලට ප්‍රතිකාර ගන්නා ධනු ලග්න ලාභීන් සිටිනවා නම් ප්‍රවේශම් විය යුතුය. නිදන්ගත රෝග පසුබිමක් නැති අය පවා තමන්ගේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන්ට ඇතිවන පීඩනය හේතුවෙන් ශරීරයේ කායික හා මානසික අසමතුලිතතා ඇති විය හැකිය.
සෙනසුරු 4 වැන්නේ බලවත්ව ගමන් කිරීම නිසා ඉඩකඩම් විකිණීමට, මිලට ගැනීමට, ඉදිකිරීම් කටයුතු කිරීමට, කෘෂිකාර්මික කටයුතුවලට සහ භූමිය සම්බන්ධ ව්‍යාපාර කිරීමට ඉතා හොඳ කාලයකි. දැනටත් ඒ ක්ෂේත්‍රවල නිරත වී සිටිනවා නම් ඔබට යහපත් කාලයක් උදා වනු ඇත. එසේම ඉංජිනේරු ක්ෂේත්‍රය, වාස්තු විද්‍යාව ආදී ක්ෂේත්‍රවල යෙදෙන හෝ ඉගෙන ගන්නා සැමට මෙය ඉතා හොඳ කාලයකි.
2026 අග සහ 2027 මුල සිට තමන් කරමින් සිටින රැකියාව හෝ කාර්යයන් වෙනස් කරන්නට ගියහොත් එය අර්බුදකාරී තත්ත්වයක් විය හැකිය. ප්‍රේමය හා විවාහය ගැන සලකන විට එකිනෙකා මඟහැරීම්, අන්‍යෝන්‍ය අවබෝධය නැතිවීම් ඇතිවිය හැකි නිසා ඉතා ඉවසීමෙන් සහ අවධානයෙන් තමන්ගේ සහකරු හෝ සහකාරිය සමඟ කටයුතු කළ යුතුය. සමස්තයක් ලෙස ගත් කල සෞඛ්‍යය රැක ගැනීමේ කොන්දේසියට යටත්ව 2026 වසර ධනු ලග්න හිමියන්ට ජයග්‍රාහී වසරක් බවට පත්කර ගැනීමට හැකියාව පවතී.
මකර ලග්නය
ජය අංකය: 09 | සුබ වර්ණය: නිල්
දැනට ජීවත්වන මට්ටමට වඩා උසස් තලයකට යාමේ වාසනාව ඇත.
මේ වසර ආරම්භ වීමත් සමඟ මකර ලග්න හිමියා ගමන් කරන්නේ අභියෝගාත්මක කාලසීමාවකය. විශේෂයෙන්ම මානසික ඒකාග්‍රතාව බිඳවැටීමක් පෙනෙයි. එකකට එකක් වෙනස් අදහස් මනසේ ඇතිවන වාතාවරණයක් ඇති වේ. පදිංචි ස්ථානය සහ රැකියාව සම්බන්ධව තනිමතයට තීන්දු ගැනීමට නොයා, තවත් මතයකට ඇහුම්කන් දී තීන්දු ගැනීමට මකර ලග්න හිමියාට සිදුවේ.
තමන්ගේ තනිමතයට වරින්වර තීන්දු ගනිමින් පරස්පර විරෝධී චර්යාවන් පෙන්වුවහොත්, හොඳට පවත්වා ගත හැකි දේ පවා අවුල් විය හැකිය. විශේෂයෙන්ම ප්‍රේමය හා විවාහය, සමාජ සම්බන්ධතා එසේම හවුලේ කරන කටයුතු සම්බන්ධයෙන් මෙය බලපානු ඇත. ඒ නිසා සෑම විටම දෙවැනි මතයකට හෝ විද්වත් මතයකට ඇහුම්කන් දී තීන්දුවක් ගැනීම සුබය.
සෙනසුරු ග්‍රහයාගේ ගමන ඉතාම බලවත්ය. එම නිසා මූල්‍ය ශක්තිය, ආර්ථික ශක්තිය සහ දේපොළ ලැබීම් හේතුවෙන් දිගුකාලීන ස්ථාවර ගමනකට මුල පිරීමට හැකියාව ලැබේ. කුමන බාධක තිබුණත් මේ අවස්ථාව ලබාගත හැකිය. මකර ලග්න හිමියන්ගේ කේන්දරයේ සාමාන්‍ය මට්ටමේ හෝ සරල මට්ටමේ ඇති ප්‍රේම සහ විවාහ සම්බන්ධතා අභියෝගයට ලක්වුවත්, ගැඹුරු මට්ටමේ සම්බන්ධතාවලට දොර ඇරෙනු ඇත.
ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව උසස් පුද්ගලයන් ඇසුරු කිරීමට, ඔවුන්ගෙන් අවවාද ලැබීමට සහ ඒ අයගේ භෞතික හා ආධ්‍යාත්මික උපදෙස් ලැබීමේ වාසනාව ඇත. දැනට ජීවත්වන මට්ටමට වඩා උසස් තලයකට යාමේ වාසනාව ඇත. ගැඹුරු සම්බන්ධතාවලට ඉතා හොඳ කාලයකි.
සමේ රෝගවලින් පරිස්සම් විය යුතුය. ඉකිළි, කිහිලි ආශ්‍රිතව සම අවපැහැ ගැන්වීම් වැඩිවිය හැකිය. හඳුනා නොගත් කොඳුඇට පෙළ ආශ්‍රිත රෝග ඇතිවිය හැකි නිසා වැඩි වේලාවක් එක තැන වාඩි වී සිටීම්, සිටගෙන සිටීම් සහ අනිසි ලෙස බර ඉසිලීම් වැනි දේවලින් වැළකී සිටිය යුතුය. එසේම නින්ද නොයෑම, හිසරදය සහ පීනස වැනි තත්ත්වයන් ඇති විය හැකිය. විදේශ ගමන් බාධාවකින් තොරව යා හැකිය.
කුම්භ ලග්නය
ජය අංකය: 05 | සුබ වර්ණය: සුදු
ඉදිරි කාලයේ ඉවසිලිවන්තව සහ දුරදක්නා නුවණින් කටයුතු කළ යුතුය.
කුම්භ ලග්න හිමියා 2026 සහ 2027 යන වසර දෙක පුරාම තමන්ගේ ආර්ථික කළමනාකරණය ගැන අවධානයක් යොමු කළ යුතුය. තමන්ගේ ඉපැයීම් සහ වැයවීම් සම්බන්ධව පැහැදිලි අවබෝධයකින් කටයුතු කළ යුතුය. ඒ දෙක අතර මහා විශාල පරස්පරයන් ඇතිවිය හැකිය. තමන්ගේ ආර්ථිකය හේතුකොට ගෙන තමන්ගේ සතුට, නිරෝගී බව, පවුල් ජීවිතය සහ සමාජ සම්බන්ධතා යන මේ සියල්ල අවුල් විය හැකි බව මතක තබාගත යුතුය. මේ නිසා තමන්ගේ ආර්ථිකය නිවැරදිව කළමනාකරණය කරගැනීම අත්‍යවශ්‍යය.
සේවය කරන ස්ථානයේ ප්‍රධානීන්ගෙන් හෝ ඉහළ කළමනාකාරීත්වයෙන් කුම්භ ලග්න හිමියන්ට සහයෝගයක් නොලැබිය හැකිය. අභියෝගවලට ඔරොත්තු දීම, නින්දා සහ ප්‍රශංසා සම සිතින් ඉවසීම, මෙන්ම නිග්‍රහ කිරීම් ආදිය සිදුවිය හැකිය. උසස්වීම් නොලැබිය හැකිය. එවැනි අවස්ථාවල නීතිමය හෝ පෞද්ගලික වශයෙන් ගැටෙන්නට ගියහොත් එයින් අවාසි අත්විය හැකිය. ඒ නිසා මේ කාලය තුළ ඉවසිලිවන්තව සහ දුරදක්නා නුවණින් කටයුතු කළ යුතුය.
ජීර්ණ පද්ධතිය සහ බහිස්‍රාවීය ක්‍රියාවලිය සම්බන්ධයෙන් පරිස්සම් විය යුතුය. එසේම රුධිරගත සීනි සහ මේදය ඇති අය ඒ සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කළ යුතුය.
අධ්‍යාපනය ලබන කුම්භ ලග්න හිමියන්ටත් බාධක පැමිණිය හැකිය. එහෙත් බාහිරින් එන බාධකවලට ප්‍රතිචාර නොදක්වා තමන්ගේ අධ්‍යාපන කටයුතු ගැන අවධානය යොමු කිරීමෙන් ජයග්‍රහණය අත්කර ගත හැකිය. සෙනසුරු දැන් ගමන් කරන්නේ දෙවැන්නේය. කෙනෙකුට එය ලග්න ඒරාෂ්ටක ලෙස හැඳින්විය හැකි වුවත් ඒවාට බිය වීමට කිසිම හේතුවක් නැත. යම් කුම්භ ලග්න හිමියෙකු පෙර කී අභියෝගවලට නිවැරදිව මුහුණ දෙනවා නම්, ඉදිරි දස වසර සඳහා ස්ථාවර ආර්ථිකයකට සහ ස්ථාවර වෘත්තීය තත්ත්වයකට හිමිකම් කියන ගමනක් ආරම්භ කිරීමේ හැකියාව ලැබේ.
මීන ලග්නය
ජය අංකය: 04 | සුබ වර්ණය: කහ
රැකියාවට සහ අධ්‍යාපනය ලබන්නන්ට හොඳ අවස්ථා ඇත.
මීන ලග්න හිමියන් පසුගිය වසර දෙක තුනට වඩා ජයග්‍රාහී තත්ත්වයකට පියවර ඔසවන බව පෙනේ. එයට ප්‍රධානම හේතුව වන්නේ මානසික වශයෙන් සහ කායික වශයෙන් විශාල බාධාවක් ඇති කළ රාහු ග්‍රහයා එම බාධක තත්ත්වයන්ගෙන් හැකිතාක් ඈතට ගොස් තිබීමයි. ස්වාධීනව, අපක්ෂපාතීව සහ දුරදක්නා නුවණින් තීන්දු තීරණ ගැනීමේ හැකියාව මීන ලග්න හිමියන්ට ලැබේ.
නමුත් තවදුරටත් මායාමය අදහස් සහ තර්කවලින් හෙම්බත් වීම නිසා හොඳ ප්‍රතිඵල ලැබීම අසීරු වේ. මේ නිසා මීන ලග්න හිමියන්ද තමන්ගේ තනි මතයට තීන්දු නොගෙන, දෙවැනි මතයක් විමසා තීන්දු ගැනීම වැදගත් වේ.
ලග්නයේ තවදුරටත් සෙනසුරු ගමන් කිරීම ඒරාෂ්ටක තත්ත්වයක් ඇති කරන නමුත් එය බිය වීමට හේතුවක් නොවේ. සෙනසුරු විසින් මීන ලග්න හිමියා තුළ නිශ්චිත, ගැඹුරු මනෝභාවයක් ඇති කරයි.
මීන ලග්නයෙන් උපන් ස්ත්‍රීන් තමන්ගේ ඔසප් චක්‍රය හෝ ගර්භාෂගත රෝග සම්බන්ධයෙන් ප්‍රතිකාර ලබන කෙනෙක් නම් අතිශයින් පරිස්සම් විය යුතුය. ඇතැම් විට වෛද්‍යවරුන්ටවත් හඳුනාගත නොහැකි ආකාරයේ රෝගී තත්ත්වයන් මතුවීමේ ඉඩකඩ ඇත. එසේම ලිංගාශ්‍රිත රෝග ඇතිවීමේ ඉඩකඩක්ද පවතී. මේ නිසා තමන්ගේ පෞද්ගලික සෞඛ්‍යය පිළිබඳව අවධානය යොමු කිරීම වැදගත් වේ.
මීන ලග්න හිමියන්ට ගුරු ග්‍රහයාගේ පිහිටීම ඉතා හොඳය. කුමනාකාරයක හෝ අධ්‍යාපනයක් ලබන්නෙකු වුවත් ඒ සඳහා තවදුරටත් හොඳ අවස්ථා ඇත. නවීන තාක්ෂණය සම්බන්ධයෙන් අධ්‍යාපනය ලබන හෝ රැකියා කරන අයට තමන්ගේ දක්ෂතා පෙන්වීමට අවස්ථාව තිබේ. ඉංජිනේරු සහ තාක්ෂණික අංශයේ රැකියා කරන්නන්ට මෙහිදී වැඩි වාසි අත්වේ.
මීන ලග්න හිමියන් කාලයක් තිස්සේ ගෙවූ පීඩාකාරී තත්ත්වයන්ගෙන් මිදී තමන්ගේ ග්‍රහචාරයේ බලය උපයෝගී කර ගනිමින් සමාජයේ නැගී සිටින බවක් පෙනේ. අභියෝගයක් වන්නේ ශාරීරික සහ මානසික සෞඛ්‍ය තත්ත්වයයි. ඒ පිළිබඳව සැලකිලිමත් වුවහොත් මීන ලග්න හිමියාට තත්ත්වය යහපත් වනු ඇත.
- කේසීජේ රත්නායක (ඉරිදා ලංකාදීප)

