සිංහල හා දෙමළ අලුත් අවුරුදු නිවාඩුව සඳහා ගම්බිම් බලා ගිය ජනතාවට යළි සිය සේවා ස්ථාන වෙත සහ නිවෙස් බලා පැමිණීමේ පහසුව උදෙසා ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් විශේෂ දුම්රිය කිහිපයක් ධාවනයට එක් කර තිබේ. මෙම විශේෂ දුම්රිය සේවාවන් 2026 අප්‍රේල් මස 18 සහ 19 යන දෙදින තුළ ක්‍රියාත්මක වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වෙත නිවේදනයක් නිකුත් කරමින් දුම්රිය සාමාන්‍යාධිකාරී කාර්යාලය සඳහන් කරයි.
සාමාන්‍ය දුම්රිය කාලසටහනට අමතරව අනුරාධපුරය, කන්කසන්තුරය, මාතර සහ බෙලිඅත්ත යන ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් මෙම විශේෂ දුම්රිය ධාවනයට එක් කර ඇත.ඒ අනුව කොළඹ කොටුව සහ අනුරාධපුරය අතර අප්‍රේල් 18 සහ 19 යන දෙදින තුළ විශේෂ දුම්රිය ගමන් වාර කිහිපයක් ක්‍රියාත්මක වේ. පෙරවරු 7.40 ට කොළඹ කොටුවෙන් පිටත්වන දුම්රියක් පෙරවරු 11.35 ට අනුරාධපුරයට ළඟා වීමට නියමිත අතර, එම දුම්රිය යළි පස්වරු 2.00 ට අනුරාධපුරයෙන් පිටත්වී පස්වරු 6.05 ට කොළඹ කොටුවට ළඟා වනු ඇත. මීට අමතරව එම දෙදින තුළම පෙරවරු 6.40 ට කොළඹ කොටුවෙන් පිටත්වී පෙරවරු 10.38 ට අනුරාධපුරයට ළඟා වන තවත් විශේෂ දුම්රියක්, එදිනම පෙරවරු 10.50 ට යළි අනුරාධපුරයෙන් පිටත්වී පස්වරු 2.54 ට කොළඹ කොටුවට පැමිණීමට නියමිතය. උතුරු දුම්රිය මාර්ගයේ කන්කසන්තුරය සහ අනුරාධපුරය අතර ද අප්‍රේල් 18 සහ 19 දෙදින තුළ විශේෂ දුම්රියක් ධාවනය කෙරේ. එය පෙරවරු 6.00 ට කන්කසන්තුරයෙන් පිටත්වී පෙරවරු 10.18 ට අනුරාධපුරයට පැමිණෙන අතර, යළිත් පෙරවරු 10.50 ට අනුරාධපුරයෙන් ගමන් අරඹා පස්වරු 2.22 ට කන්කසන්තුරය වෙත ළඟා වීමට නියමිතව තිබේ.
දකුණු පළාතේ සිට පැමිණෙන ජනතාව වෙනුවෙන් ද විශේෂ දුම්රිය කිහිපයක් මුහුදුබඩ මාර්ගයේ ධාවනයට එක් කර ඇත. අප්‍රේල් 18 වන දින පමණක් පස්වරු 1.00 ට මරදානෙන් පිටත්වන දුම්රියක් පස්වරු 4.37 ට මාතරට ළඟා වන අතර, අප්‍රේල් 19 වන දින පෙරවරු 11.15 ට මාතරින් පිටත්වන විශේෂ දුම්රියක් පස්වරු 2.47 ට මරදානට පැමිණීමට කටයුතු යොදා ඇත. තවද, අප්‍රේල් 18 වන දින පස්වරු 4.40 ට මරදානෙන් පිටත්වන දුම්රියක් රාත්‍රී 8.40 ට බෙලිඅත්ත දුම්රිය ස්ථානයට ළඟා වනු ඇත. ඊට අමතරව, අප්‍රේල් 18 සහ 19 යන දෙදින තුළම පෙරවරු 8.20 ට බෙලිඅත්තෙන් ගමන් ආරම්භ කරන විශේෂ දුම්රියක් පස්වරු 12.30 ට මරදානට පැමිණීමට නියමිත බව දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දන්වා සිටියි.


