risk-of-depression-due-to-extreme-heat

මේ දිනවල දිවයින පුරා පවතින දැඩි උෂ්ණාධික කාලගුණය හේතුවෙන් ජනතාව අතර විජලනය මෙන්ම විෂාදය සහ මානසික අවපීඩනය වැනි තත්ත්වයන් වර්ධනය වීමේ දැඩි අවදානමක් පවතින බව මනෝ වෛද්‍ය විද්‍යා විජේබණ්ඩාර මහත්මිය අනතුරු අඟවයි. විශේෂයෙන්ම මෙම අධික රස්නය හේතුවෙන් ජනතාව තුළ යම් නොසන්සුන්තාවයක්, ආතතියක් සහ දැඩි මානසික පීඩනයක් හටගැනීමේ හැකියාව පවතින බව ද ඇය පෙන්වා දෙයි.

ඊයේ (01) කොළඹ පිහිටි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් වෛද්‍යවරිය මෙම කරුණු අනාවරණය කළාය.




අධික උණුසුමට නිරාවරණය වීමෙන් සිරුර විජලනයට ලක්වන අතර, එමගින් ශරීරයේ රසායනික සංයුතියේ යම් යම් වෙනස්කම් සිදුවන බව වෛද්‍යවරිය සඳහන් කරයි. මෙම රසායනික වෙනස්වීම්, විශේෂයෙන්ම මොළයේ පවතින රසායනික ද්‍රව්‍ය සහ හෝමෝනවල ක්‍රියාකාරිත්වයට සෘජුවම බලපෑම් එල්ල කරන බැවින් පුද්ගලයෙකුගේ මානසික මට්ටම පහත වැටීමට එය ප්‍රබල හේතුවක් වෙයි. මීට අමතරව, රාත්‍රී කාලයේ පවතින අධික රස්නය හේතුවෙන් මිනිසුන්ගේ සාමාන්‍ය නින්දට දැඩි ලෙස බාධා එල්ල වන අතර, නිසි නින්දක් නොලැබීම ද මානසික ආතතිය සහ අවපීඩනය තවදුරටත් වර්ධනය කිරීමට හේතු වන බව ඇය පැහැදිලි කළාය.

මෙම කාලගුණික තත්ත්වය හමුවේ නිදන්ගත රෝගවලින් පෙළෙන පුද්ගලයින්, කුඩා දරුවන්, ගර්භණී කාන්තාවන් සහ වයෝවෘද්ධ පුද්ගලයින් යන අධි අවදානම් කාණ්ඩ වැඩි පරිස්සමක් දැක්විය යුතු බවට වෛද්‍යවරිය උපදෙස් ලබා දෙයි. එමෙන්ම, මේ දිනවල මත්පැන් සහ මත්ද්‍රව්‍ය භාවිතය සම්පූර්ණයෙන්ම අහිතකර වන අතර, ඉන් මානසික සෞඛ්‍යය දරුණු ලෙස කඩා වැටිය හැකි බව ද ඇය අවධාරණය කළාය. මෙම අභියෝගාත්මක කාලසීමාව තුළ මනස නිරවුල්ව පවත්වා ගැනීම සඳහා සැහැල්ලු ව්‍යායාමවල නිරත වීම, භාවනා කිරීම, සංගීතයට සවන් දීම සහ පරිසරය හා සම්බන්ධ ක්‍රියාකාරකම්වලට යොමුවීම බෙහෙවින් ප්‍රයෝජනවත් වනු ඇත.