ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ඇතුළු විවිධ ජාත්‍යන්තර ප්‍රිමියර් ලීග් තරගාවලි සඳහා සහභාගී වීමට අවස්ථාව ලබා ගැනීමේ අරමුණින්, තමන් වෙත ‘විරෝධතාවයක් නොමැති බව’ තහවුරු කරන සහතිකයක් (NOC) නිකුත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට බල කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර විසින් කොළඹ දිසා අධිකරණයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
ජ්‍යෙෂ්ඨ උපදේශන නීතිඥ ජී. ජී. අරුල්ප්‍රගාසම් මහතාගේ මාර්ගයෙන් ගොනු කර ඇති මෙම නෛතික පැමිණිල්ල අද (02) දිනයේදී කොළඹ දිසා අධිකරණය හමුවේ කැඳවනු ලැබීය. එහිදී කරුණු සලකා බැලීමෙන් අනතුරුව, අදාළ වගඋත්තරකරුවන් වෙත අධිකරණ නොතීසි නිකුත් කිරීමට නියෝග කළ අධිකරණය පැමිණිල්ල වැඩිදුරටත් සලකා බැලීම සඳහා එළඹෙන අප්‍රේල් මස 09 වැනිදා යළි කැඳවීමටද තීරණය කර ඇත.
මෙම පැමිණිල්ලේ වගඋත්තරකරුවන් වශයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළ පෙළේ නිලධාරීන් සිව්දෙනෙකුගේ නම් ඇතුළත් කර තිබේ. ඒ අනුව ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා, එහි ලේකම් බන්දුල දිසානායක, භාණ්ඩාගාරික සුජීව ගොඩලියද්ද සහ ප්‍රධාන විධායක නිලධාරී ඈශ්ලී ද සිල්වා යන මහත්වරුන් මෙලෙස වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත.

