2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ තාක්ෂණවේදය සහ ජෛව පද්ධති තාක්ෂණවේදය යන විෂය ධාරාවලින් දිවයිනේ ප්‍රථම ස්ථාන හිමිකර ගැනීමට ගම්පහ සහ වේයන්ගොඩ ප්‍රදේශවල දක්ෂ සිසු දරුවන් දෙදෙනෙකු සමත් වී තිබේ. ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ ඉගෙනුම ලැබූ හේෂාන් අනුජය වනිගසූරිය සිසුවා තාක්ෂණ විෂය ධාරාවෙන් දිවයිනෙන්ම ප්‍රථම ස්ථානය දිනාගෙන ඇති අතර, වේයන්ගොඩ බණ්ඩාරනායක ජාතික පාසලේ ඩබ්ලිව්.එම්.ආර්.
ඊශානි මනෝදා ශිෂ්‍යාව ජෛව පද්ධති තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට සමත් වී ඇත.ගම්පහ ඉහළගම ප්‍රදේශයේ පදිංචි හේෂාන් අනුජය තම මූලික අධ්‍යාපනය ලබා ඇත්තේ ගම්පහ බණ්ඩාරවත්ත පරාක්‍රම මහා විද්‍යාලයෙනි. පස්වන ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 170ක් ලබාගනිමින් ඔහු හයවන ශ්‍රේණියේ දී ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයට ඇතුළත් වී තිබේ. එහිදී සාමාන්‍ය පෙළ විභාගයෙන් විෂයන් නවයටම ‘ඒ’ සාමාර්ථ ලබාගැනීමට ද ඔහු සමත් විය. පෞද්ගලික ආයතනයක අලෙවි විධායකවරයෙකු ලෙස සේවය කරන අනිල් වනිගසූරිය සහ ගම්පහ රෝහලේ හෙද නිලධාරිනියක ලෙස සේවය කරන ඉරේෂා ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන්ට දාව උපන් හේෂාන්ට එක් වැඩිමහල් සහෝදරියක සහ කොළඹ නාලන්දා විද්‍යාලයේ එකොළොස්වන වසරේ ඉගෙනුම ලබන බාල සහෝදරයෙකු ද සිටියි.
තම විශිෂ්ට ජයග්‍රහණය පසුපස ඇති රහස දිනපතා පාසලෙන් ලබාදෙන පාඩම් වැඩ සහ අභ්‍යාස නිසි පරිදි අධ්‍යයනය කිරීම බව හේෂාන් පවසයි. ඔහු තම අධ්‍යාපන කටයුතු සැහැල්ලුවෙන් සිදුකළ ද, උසස් පෙළ විභාගය ඉහළින්ම ජයගැනීමේ දැඩි අධිෂ්ඨානයක් ඔහු තුළ තිබී ඇත. හේෂාන් අධ්‍යාපන කටයුතුවලට අමතරව 2018 වසරේ සිට 2021 දක්වා කනිෂ්ඨ අපරදිග තූර්ය වාදක කණ්ඩායමේත්, 2022-2023 වසරවල දිවයිනේ ප්‍රථම ස්ථානය දිනාගත් අපරදිග ශිෂ්‍ය භට තූර්ය වාදක කණ්ඩායමේත් සාමාජිකයෙකු ලෙස කටයුතු කරමින් බාහිර ක්‍රියාකාරකම්වලින් ද ඉහළ දස්කම් දක්වා තිබේ. එසේම ඔහු 2024-2025 කාලය තුළ විද්‍යාලීය තාක්ෂණ සංගමයේ සභාපතිවරයා ලෙස ද කටයුතු කර ඇත.
හේෂාන්ගේ අනාගත බලාපොරොත්තුව වන්නේ කථිකාචාර්යවරයෙකු වී අනාගත පරපුරට යහපත් සේවාවක් ඉටුකිරීමයි. තමන්ට ගුරුහරුකම් දුන් හිටපු විදුහල්පති හිරාන් චම්පික ද සිල්වා, වත්මන් විදුහල්පති කුසුමන් රණසිංහ, පන්තිභාර ගුරුවරුන් මෙන්ම ඉංජිනේරු තාක්ෂණවේදය, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය සහ තාක්ෂණවේදය සඳහා විද්‍යාව යන විෂයන් ඉගැන්වූ සියලුම ගුරු භවතුන්ටත්, තම පවුලේ සාමාජිකයන්ටත් ඔහු සිය කෘතවේදීත්වය පළ කරයි. පොත්පත් කියවීම, වොලිබෝල් ක්‍රීඩාව සහ පිහිනීම තම විනෝදාංශ බව පවසන ඔහු, නිරන්තර උනන්දුවෙන් වැඩ කරන්නේ නම් ඕනෑම අයෙකුට මෙවැනි ජයග්‍රහණ ලබාගත හැකි බවට සෙසු සිසුන්ට ද ආදර්ශයක් සපයයි.
මේ අතර ජෛව පද්ධති තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ඉහළම ජයග්‍රහණය අත්කරගත් වේයන්ගොඩ බණ්ඩාරනායක ජාතික පාසලේ ඊශානි මනෝදා සිසුවිය නිට්ටඹුව හොරගොල්ල වත්තේ පදිංචිකාරියකි. ක්‍රීඩා උපදේශකයෙකු වන උපුල් ප්‍රියන්ත සහ බැංකු ක්ෂේත්‍රයේ සේවය කරන ජනනී පෙරේරා යන මහත්ම මහත්මීන්ගේ එකම දියණිය වන ඇයට නිට්ටඹුව සංගබෝධි විද්‍යාලයේ ඉගෙනුම ලබන එක් සහෝදරයෙකු ද සිටියි. පත්තලගෙදර විද්‍යාලෝක මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා, පහ වසර ශිෂ්‍යත්වයෙන් සමත් වී වේයන්ගොඩ බණ්ඩාරනායක ජාතික පාසලට ඇතුළත් වූ ඇය ද සාමාන්‍ය පෙළ විභාගයෙන් ‘ඒ’ සාමාර්ථ නවයක් ලබාගෙන තිබේ.
ඊශානි උසස් පෙළ සඳහා තාක්ෂණවේදය සඳහා විද්‍යාව සහ ජෛව පද්ධති තාක්ෂණවේදය යන විෂයන් සිංහල මාධ්‍යයෙනුත්, තොරතුරු තාක්ෂණය ඉංග්‍රීසි මාධ්‍යයෙනුත් හදාරා ඇත. පාසලේ කනිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය නායිකාවක ලෙස කටයුතු කර ඇති ඇය, තූර්ය වාදක කණ්ඩායම ඇතුළු විවිධ විද්‍යාලීය බාහිර ක්‍රියාකාරකම් රැසකට සම්බන්ධ වෙමින් තම නායකත්ව කුසලතා ද වර්ධනය කරගෙන තිබේ. ඇය සඳහන් කරන්නේ බාහිර කටයුතුවලට සහභාගි වීම අධ්‍යාපනයට කිසිදු බාධාවක් නොවන බවත්, ලොකු කුඩා සැමගේ සහාය ඇතිව අධ්‍යාපනය සාර්ථක කරගෙන රටට වැඩදායී පුරවැසියෙකු වීමේ අදිටනින් තමා මෙම ගමන පැමිණි බවත්ය.
තොරතුරු තාක්ෂණ අංශයෙන් ඉදිරියටම ඉගෙනගෙන රටට විශිෂ්ට සේවාවක් සැලසීම ඊශානිගේ එකම අරමුණයි. ඇයගේ මෙම ඓතිහාසික ජයග්‍රහණය සඳහා සහාය දුන් විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයටත්, දෙමාපියන් ඇතුළු සියලු හිතවතුන්ටත් ඇය සිය ස්තුතිය පුදකර සිටියි. පාසලේ විෂය සමගාමී මෙන්ම බාහිර කටයුතුවලට ද දායක වෙමින් දිවයිනේ පළමු ස්ථානය දිනාගැනීම පාසලට විශාල කීර්තියක් බවත්, ඇය සමස්ත සිසු පරපුරටම කදිම ආදර්ශයක් බවත් වේයන්ගොඩ බණ්ඩාරනායක ජාතික පාසලේ විදුහල්පති සමීර සෝමරත්න මහතා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

