ජීවිතයක වටිනාකම මනින්නේ විභාගයකින් ලබාගන්නා ලකුණු කීයකින්ද යන වේදනාත්මක පැනය යළිත් වරක් සමාජය හමුවේ මතු වී තිබේ. ඒ ඉන්දියාවේ කාන්පූර් නුවරින් වාර්තා වූ අතිශය ශෝකජනක සිදුවීම් දෙකක් හේතුවෙනි.
තම අපේක්ෂිත ඉලක්කයට වඩා ලකුණු සියයට තුනක් අඩුවීමේ 'වරදට' සියයට අනූදෙකක විශිෂ්ට ප්‍රතිඵලයක් ලබාගත් දහවන ශ්‍රේණියේ සිසුවියක තම ජීවිතය සියතින්ම නිමා කරගෙන ඇත.මධ්‍ය විද්‍යාලයේ ඉගෙනුම ලැබූ වෛශාලි සිං නමැති මෙම දැරිය, සීබීඑස්ඊ විභාගයෙන් සියයට 92ක ප්‍රතිඵලයක් ලබා ගත්තද ඇගේ අපේක්ෂාව වී තිබුණේ සියයට 95ක කඩඉම පසු කිරීමයි. පියා මීට වසර දෙකකට පෙර මියගොස් ඇති අතර, මව වෙළඳ සංකීර්ණයක වෙහෙසී රැකියාව කරමින් ඇගේ අධ්‍යාපනයට වියදම් කර ඇත. මරණයට පෙර මිතුරන්ට යැවූ හඬ පටයකින් ඇය පවසා තිබුණේ "මට තවත් ජීවත් වෙන්න බෑ, මම පණ ඇති මළකඳක් වෙලා, අම්මා මං වෙනුවෙන් කරන වියදම් අපතේ යාවි කියලා මට බයක් දැනෙනවා" යන සංවේදී වදන් පෙළකි. මව රැකියාව නිමවා නිවසට එන විටත් වෛශාලිගේ නිසල සිරුර කාමරය තුළ එල්ලෙමින් තිබුණි.
වෛශාලිගේ මව මෙන්ම සොහොයුරා වන ප්‍රින්ස් මෙම ඛේදවාචකයට පාසලෙන් එල්ල වූ දැඩි පීඩනය ඍජුවම චෝදනා කරති. ප්‍රින්ස් පවසන පරිදි, ඔහු පාසල් ගමන අතරමඟ නැවැත්වීම හේතුවෙන් සමහර ගුරුවරුන් නිතරම වෛශාලිව ඔහු හා සසඳමින් ඇයව මානසිකව වට්ටවා ඇත. "ඔයා ප්‍රින්ස්ගේ නංගි, ඔයාට කවදාවත් හොඳ ලකුණු ගන්න බෑ" යැයි ගුරුවරුන් කළ අපහාසවලට පිළිතුරු දීමට ඇය රෑ නිදිවරාගෙන පාඩම් කර සියයට 92ක් ගත්තද, එම ජයග්‍රහණය සැමරීමට පෙරම මේ අවාසනාවන්ත ඉරණමට ඇය ගොදුරු වූවාය.
මෙම සිදුවීමෙන් කම්පනයට පත් කාන්පූර් නගරයෙන්ම තවත් එවැනිම කඳුළු කතාවක් වාර්තා විය. ඒ, දන්ත වෛද්‍ය විද්‍යාව හදාරමින් සිටි 23 හැවිරිදි නාසියා හසන් නමැති සිසුවිය තම නේවාසිකාගාර කාමරය තුළ ගෙල වැලලාගෙන මියයාමේ පුවතයි. ඇය වෙනුවෙන්ම සායනයක් ඉදිකිරීමට පියා ඉඩමක් පවා මිලදී ගෙන තම දියණිය වෛද්‍යවරියක වන දිනය එනතුරු මඟ බලා සිටියේය. නමුත් කිසිදු හේතුවක් හෝ සටහනක් නොතබාම ඇය මෙසේ සිය දිවි ගමනට සමුදී තිබුණේ මුළු පවුලකම බලාපොරොත්තු සුනුවිසුනු කරමිනි.
මෙම මරණ හුදෙක් පුද්ගලික තීරණ නොව, සමාජය සහ අධ්‍යාපන ක්‍රමය විසින් දරුවන් මත පටවා ඇති අසීමිත පීඩනයේ ප්‍රතිඵල බව වෛද්‍යවරු පෙන්වා දෙති. මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ධනංජය චෞද්‍රි පවසන්නේ "ලකුණු කියන්නේ හැමදේම නෙවෙයි, සචින් තෙන්ඩුල්කාර් දහයේ පන්තියේ ලකුණු පස්සේ දිව්වා නම් අද මුළු රටම ඔහු ගැන ආඩම්බර වෙන්නේ නෑ" යනුවෙනි.
විභාග ප්‍රශ්න පත්‍රයකට දරුවෙකුගේ බුද්ධිය මැනිය හැකි වුවද, ඔවුන්ගේ ජීවත්වීමේ අයිතිය තීරණය කිරීමට කඩදාසි කොළයකට ඉඩ දෙන සමාජයක් කිසිදා සැබෑ සමත්කමක් නොලබනු ඇත.

