ශ්‍රී ලංකාවෙන් පලාගොස් මේ වන විට ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින බවට සැලකෙන ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම පාතාල කල්ලි නායකයකු ද වන පටබැඳි මද්දුමාගේ ෂෙහාන් සත්සර හෙවත් 'දෙහි බාලේ මල්ලි' නමැත්තා සිය බිරිඳ වෙනුවෙන් ඩුබායි මුහුදු තීරයේ සුඛෝපභෝගී නෞකාවක අතිශය විචිත්‍රවත් උපන්දින සාදයක් පවත්වා ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ. මෙරට පාතාල මර්දන කටයුතු භාරව කටයුතු කරන ඉහළ පෙළේ පොලිස් නිලධාරියෙකු විසින් මෙම කරුණු තහවුරු කර ඇත.
දිල්ෂා නිශාරා නමැති ඔහුගේ බිරිඳගේ උපන්දිනය සැමරීම උදෙසා සංවිධානය කර තිබූ මෙම සාදය සඳහා නෞකා කුලිය, ඉහළ පෙළේ විදේශීය මත්පැන් සහ ආහාරපාන ඇතුළු සියලු වියදම් වෙනුවෙන් ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටියකට අධික මුදලක් වැය කර ඇති බවට ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම අවස්ථාවට 'දෙහි බාලේ මල්ලි'ගේ සමීපතම ගෝලයන්, හිතවතුන් සහ ඔහුගේ බිරිඳගේ මිතුරු මිතුරියන් ඇතුළු සියයකට ආසන්න පිරිසක් සහභාගී වී ඇති බව ද වාර්තා වේ.
අදාළ උපන්දින සාදය අතරතුරදී දිල්ෂා නිශාරා විසින් ජනප්‍රිය ගීත කිහිපයක්ම ගායනා කර ඇති අතර, නෞකාව තුළ පැවැති එම සාදයේ අසිරිය සහ ඇය ගීත ගායනා කරන ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශන මේ වන විටත් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පුළුල් ලෙස සංසරණය වෙමින් පවතින බව අදාළ පොලිස් නිලධාරියා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.
මේ අතර, මෙම පාතාල නායකයාට අයත් බව කියන රුපියල් කෝටි පහකට ආසන්න වටිනාකමකින් යුතු දේපළ රැසක් පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් තහනම් කිරීමට පියවර ගෙන තිබුණි. ඒ යටතේ දික්වැල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ආසන්නයේ පිහිටි ඉඩමක් සහ නිවසක් මෙන්ම දික්වැල්ල ධීවර වරායේ නවතා තිබූ 'මෙලීනා 01, 02, 03, 04 සහ 05' යන නමින් හැඳින්වෙන බහුදින ධීවර යාත්‍රා පහක් ද ඒ අතර විය.
මුදල් විශුද්ධිකරණ පනත යටතේ මෙම දේපළ තහනමට ලක්වූයේ, ඒවා ඔහුගේ බිරිඳ, ඇයගේ මව සහ බිරිඳගේ සහෝදරියගේ සැමියා යන අයගේ නම්වලින් මිලදී ගෙන ඇති බවට විමර්ශනවලදී තහවුරු වීම හේතුවෙනි. මීට අමතරව, ඩුබායි රාජ්‍යයේ සිට මොහුගේ පූර්ණ මෙහෙයවීම මත පසුගිය කාලසීමාව තුළ මෙරටට එවා තිබූ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බහුදින යාත්‍රා කිහිපයක්ම ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී වටලා අත්අඩංගුවට ගනු ලැබූ බව ද ආරක්ෂක අංශ තොරතුරු අනාවරණය කරයි.

