තම මාස දෙකක් වයසැති කුඩා බිළිඳා අතැතිව ඉතා සූක්ෂම අන්දමින් හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ කාන්තාවක් සහ ඇයට සහාය දුන් තවත් පුද්ගලයෙකු බණ්ඩාරගම පොලිසියේ නිලධාරීන් විසින් ඊයේ (05) අත්අඩංගුවට ගනු ලැබීය. මෙම වැටලීමේදී රුපියල් ලක්ෂයකට අධික වටිනාකමකින් යුත් හෙරොයින් ග්‍රෑම් හතරකට වැඩි ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන තිබේ.
මෙම කාන්තාවගේ සැමියා ද මත්ද්‍රව්‍ය චෝදනා මත මේ වන විට බන්ධනාගාරගතව පසුවන අතර, ඔහු විසින් ලබා දෙන උපදෙස් මත ඇය මෙම ජාවාරම මෙහෙයවා ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත. බණ්ඩාරගම, මැදගම බටපොත ප්‍රදේශයේ පදිංචිකාරියක වන අදාළ කාන්තාව, සිය සිරුරේ මත්කුඩු සඟවාගෙන කුඩා දරුවා ද වඩාගෙන ගොස් බටපොත ඇතුළු අවට ප්‍රදේශවල විවිධ ස්ථානවල මත්ද්‍රව්‍ය සඟවා තබා යෑමේ නිරත වී තිබේ. ඊට අමතරව, සිය නිවසේ ජල නළයක් අසල ඇති ප්ලාස්ටික් කුප්පියක ද ඇය විසින් හෙරොයින් සඟවා තිබී ඇත. මෙම ජාවාරම සඳහා ඇයගේ නිවස ආසන්නයේම පදිංචිව සිටින පුද්ගලයෙකු ද සම්බන්ධ වී ඇති බවට බණ්ඩාරගම පොලිසියේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති, උප පොලිස් පරීක්ෂක රොෂාන් පෙරේරා මහතාට ලැබුණු නිශ්චිත බුද්ධි තොරතුරකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම් සිදු කර තිබේ.
මෙලෙස පොලිස් අත්අඩංගුවට පත්ව ඇත්තේ 38 හැවිරිදි වියේ පසුවන සැකකාරියක සහ 44 හැවිරිදි සැකකරුවෙකි. ඔවුන් දෙදෙනා පානදුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. පානදුර කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන් ද සිල්වා මහතාගේ උපදෙස් මත, බණ්ඩාරගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්න අමරසේකර මහතාගේ මෙහෙයවීමෙන් සහ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක රොෂාන් පෙරේරා මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් විසින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.

