world-peace-has-been-lost-due-to-the-power-hungry-selfishness-of-a-single-person

එක් තනි පුද්ගලයෙකුගේ බල ලෝභී ආත්මාර්ථකාමීත්වය හා මුළු ලෝකයම තම ආධිපත්‍යයට නතු කර ගැනීමේ දැඩි ආශාව හේතුවෙන් අද වන විට ගෝලීය සාමය මුළුමනින්ම බිඳ වැටී සමස්ත මානව වර්ගයාම දැඩි පීඩාවකට පත්ව ඇති බව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ ප්‍රකාශ කළහ. උන්වහන්සේ මේ බව පවසා සිටියේ පසුගිය (04) වැනිදා මධ්‍යම රාත්‍රියේ කොළඹ කොටහේන ශාන්ත ලුසියා ආසන දෙව්මැදුරේ පැවති ප්‍රධාන පාස්කු දේව මෙහෙයට එක්වෙමිනි.




ලෝක සාමය වෙනුවෙන් සියලු දෙනාම එක්ව යාච්ඤා කළ යුතු බව පෙන්වා දුන් කාදිනල්තුමන්, අදාළ පුද්ගලයාගේ සිතුවිලි වෙනස් වී මෙම විනාශකාරී මෙන්ම දුර්වල ගමන් මාවතෙන් ඔහු මුදා ගැනීමට දෙවියන් යදින ලෙසද බැතිමතුන්ගෙන් ඉල්ලා සිටියේය. එක් මිනිසෙකුගේ අත්තනෝමතික ක්‍රියා කලාපය ලෝකවාසීන්ට කොතරම් බරපතල ඛේදවාචකයක් නිර්මාණය කර ඇත්දැයි උන්වහන්සේ එහිදී වැඩිදුරටත් අවධාරණය කළහ.

සැබෑ ලෙසම ක්‍රිස්තු ධර්මය අදහන්නේ නම් කිසිවෙකුටත් මෙලෙස ක්‍රියා කළ නොහැකි බව පෙන්වා දුන් අගරදගුරුතුමන්, ක්‍රිස්තියානි දහම යනු හුදෙක් යාච්ඤා කිරීම, බයිබලය කියවීම හෝ පූජකවරුන් පිරිවරාගෙන ලෝකයට තම දැහැමිකම ප්‍රදර්ශනය කිරීමක් නොවන බවද පැහැදිලි කළේය. සැබෑ ක්‍රිස්තියානිය යනු ප්‍රේමය ජීවමාන කිරීමත්, අසල්වැසියා සහ දෙවියන් ඉදිරියේ පිවිතුරු වීමත් බව පෙන්වා දුන් උන්වහන්සේ, නියම නායකයෙකු සැමවිටම ජනතාවගේ සේවකයෙකු විය යුතු බව සිහිපත් කළහ. එහෙත් වර්තමාන ලෝක පාලකයින් ජනතා සේවකයින් බවට පත් නොවී හුදෙක් බලය පසුපස පමණක් හඹා යන නායකයින් පිරිසක් බවට පත්ව ඇති බවද උන්වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියහ.