මැදපෙරදිග කලාපයේ පවතින අර්බුදකාරී වාතාවරණය හමුවේ වුවද ශ්‍රී ලංකාව තුළ කිසිදු ඉන්ධන හිඟයක් ඇතිවීමට ඉඩ නොතබන බවත්, අඛණ්ඩව ඉන්ධන සැපයුම තහවුරු කිරීමට චීනය සහතික වන බවත් ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ජෙන්හොං මහතා ප්‍රකාශ කරයි. ගෝලීය වශයෙන් මතුව ඇති මෙවැනි අවිනිශ්චිතතාවයන් මධ්‍යයේ වුවද, ශ්‍රී ලංකාවට ලබාදෙන සහයෝගය නොකඩවා පවත්වාගෙන යන බව ද හෙතෙම අවධාරණය කළේය.
මහනුවර ශ්‍රී චන්ද්‍රානන්ද බෞද්ධ විද්‍යාලයේදී අඩු ආදායම්ලාභී පවුල් 350ක් සඳහා වියළි සලාක බෙදා දීමේ වැඩසටහනකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් තානාපතිවරයා මේ බව සඳහන් කර තිබේ.
වත්මන් මැදපෙරදිග යුදමය තත්ත්වය හේතුවෙන් ලොව පුරා බොහෝ රටවලට විවිධ සැපයුම් බාධාවන්ට මුහුණ දීමට සිදුව තිබේ. එසේ වුවද, ශ්‍රී ලංකාවේ ඉන්ධන සැපයුම ස්ථාවරව පවත්වාගෙන යාමට හැකි වනු ඇති බව තානාපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය. අවශ්‍ය ඕනෑම මොහොතක ශ්‍රී ලංකාවට උපකාර කිරීමට චීනය සූදානම්ව සිටින බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
යම් හෙයකින් ඉන්ධන සැපයීමේදී දුෂ්කරතා මතු වුවහොත්, ඉන්ධන බෙදාහැරීම අඛණ්ඩව පවත්වාගෙන යාම සහතික කිරීම උදෙසා චීන බලශක්ති සමාගමක් වන 'සයිනොපෙක්' (Sinopec) සමාගම හරහා ඊට අවශ්‍ය සහයෝගය ලබා දීමට කටයුතු කරන බවද හෙතෙම ප්‍රකාශ කළේය.
දෙරට අතර පවතින දිගුකාලීන ද්විපාර්ශ්වික සබඳතා යළිත් වරක් තහවුරු කළ තානාපතිවරයා, ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය සහ සංවර්ධන ක්‍රියාවලිය සඳහා චීනය අඛණ්ඩව සිය සහයෝගය ලබාදෙන බව අවධාරණය කළේය.



