asha-bhosle-passes-away-at-92

ඉන්දියානු සිනමාවේ අද්විතීය පසුබිම් ගායිකාවක වූ ආශා බෝස්ලේ 2026 අප්‍රේල් 12 වන අද දින මුම්බායි හි බ්‍රීච් කැන්ඩි රෝහලේදී අභාවප්‍රාප්ත වූවාය. මිය යන විට 92 වැනි වියේ පසු වූ ඇය බහු අවයව අකර්මණ්‍ය වීමක් හේතුවෙන් මිය ගිය බව ඇයට ප්‍රතිකාර කළ වෛද්‍ය ප්‍රතීත් සම්දානි විසින් තහවුරු කර තිබේ.




මරණයට පත්වීමට පෙර දින, එනම් අප්‍රේල් 11 වනදා, වාර්තා වූ හදිසි හෘදයාබාධයක් සහ පපුවේ ආසාදන තත්ත්වයක් හේතුවෙන් ඇයව රෝහල් ගත කර තිබුණි. ඇයගේ මිණිබිරිය වන සනායි බෝස්ලේ ද 'X' සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් ප්‍රකාශ කර තිබුණේ සිය මිත්තණිය අධික වෙහෙස සහ පපුවේ ආසාදනයක් හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිටි බවයි.

මෙම විශිෂ්ට ගායිකාවගේ අවසන් කටයුතු පිළිබඳව ඇයගේ පුත් ආනන්ද් බෝස්ලේ විසින් මාධ්‍ය වෙත කරුණු දක්වා ඇත. ඒ අනුව, මහජනතාවට අවසන් ගෞරව දැක්වීම සඳහා ඇයගේ දේහය හෙට පෙරවරු 11.00 ට ලෝවර් පරෙල් හි පිහිටි 'කාසා ග්‍රෑන්ඩ්' නිවසේ තැන්පත් කර තැබෙන අතර, අවසන් කටයුතු හෙට සවස 4.00 ට මුම්බායි හි ශිවාජි පාර්ක් හිදී සිදු කිරීමට නියමිතව තිබේ.




සංගීත පසුබිමක් සහිත පවුලක උපත ලබා, වයස අවුරුදු 10 දී සිය සංගීත ගමන ආරම්භ කළ ආශා බෝස්ලේ, 'මජා බාල්' මරාති චිත්‍රපටයේ 'චලා චලා නව් බාලා' ගීතය ගායනා කරමින් ක්ෂේත්‍රයට පිවිසියාය. ඉන්පසුව 'චුනාරියා' චිත්‍රපටයේ 'සාවන් ආයා' ගීතය හරහා හින්දි සිනමාවට එක් වූ ඇය, 'රාත් කී රාණි' චිත්‍රපටය වෙනුවෙන් සිය පළමු හින්දි ඒකල ගීතය පටිගත කළාය.

දශක හතකට අධික කාලයක් පුරාවට විහිදුණු ඇයගේ වෘත්තීය ජීවිතය තුළ ශාස්ත්‍රීය, ගසල්, කැබරේ සහ පොප් ඇතුළු විවිධ ශෛලීන් ඔස්සේ ගීත දහස් ගණනක් ගායනා කර ඇත. 'උම්රාඕ ජාන්' හි 'දිල් චීස් ක්‍යා හේ', 'තීස්රි මන්සිල්' හි 'ආජා ආජා මේ හූන් ප්‍යාර් තෙරා' සහ 'රංගීලා' හි 'තන්හා තන්හා' වැනි ගීත ඇයගේ අද්විතීය හඬ පෞරුෂය විදහා දක්වයි. ඇයගේ අභාවය වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කරමින් සුඛ්බීර් වැනි ප්‍රවීණ ගායකයින් ද පවසා තිබුණේ ඇයගේ 'චුරා ලියා' සහ 'පියා තූ' වැනි ගීත තම සංගීත ගමනට මෙන්ම පරම්පරා ගණනාවකට විශාල ආභාසයක් ලබා දුන් බවයි.



සිය දිවියේ අවසන් කාලයේදීත් අතිශය ක්‍රියාශීලී චරිතයක් වූ ආශා බෝස්ලේ, මෑතකදී ඩුබායි හි පැවති ප්‍රසංගයක් අතරතුරදී විකී කෞෂාල් රඟපාන 'බෑඩ් නිවුස්' චිත්‍රපටයේ අතිශය ජනප්‍රිය 'තවුබා තවුබා' ගීතයට නර්තනයේ යෙදෙන වීඩියෝවක් අන්තර්ජාලය පුරා වේගයෙන් සංසරණය විය. ප්‍රේක්ෂකයින්ගේ දැඩි ආදරයට පාත්‍ර වූ එම සිදුවීමෙන් ද පැහැදිලි වූයේ ඇයගේ වයස ඇගේ ජීව ගුණයට හෝ සංගීතයට ඇති ආදරයට කිසිදු බාධාවක් නොවූ බවයි.

asha-bhosle-passes-away-at-92

asha-bhosle-passes-away-at-92

asha-bhosle-passes-away-at-92

asha-bhosle-passes-away-at-92

asha-bhosle-passes-away-at-92

asha-bhosle-passes-away-at-92

asha-bhosle-passes-away-at-92