වේරහැර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට සේවා ලබාගැනීම සඳහා පැමිණෙන පුද්ගලයින් ඉලක්ක කර ගනිමින් ව්‍යාජ රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ දැවැන්ත ජාවාරමක් පොලිසිය විසින් අනාවරණය කරගෙන ඇත. පොලිස් විශේෂ කාර්යාංශයේ විශේෂ මෙහෙයුම් ඒකකයට ලැබුණු රහසිගත තොරතුරකට අනුව පසුගිය බදාදා දින සිදුකළ හදිසි වැටලීමකදී මෙම ජාවාරමට සම්බන්ධ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇති අතර, ඒ අතර අදාළ දෙපාර්තමේන්තුවේ සේවය කළ ආරක්ෂක නිලධාරියෙකු ද වෙයි.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ හෝමාගම ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙකු සහ බුලත්කොහුපිටිය ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි අයෙකි.මෙම වංචනික ක්‍රියාව කොටුකර ගැනීම සඳහා පොලිස් විශේෂ කාර්යාංශයේ ස්ථානාධිපතිවරයාගේ පූර්ණ අධීක්ෂණය යටතේ විශේෂ උපාය දූතයෙකු යොදවා තිබේ. එහිදී රුපියල් 10,000ක මුදලක් ලබා දී රියදුරු බලපත්‍රයක් සකසා ගැනීමට පැමිණි සේවාදායකයෙකු ලෙස පෙනී සිටිමින් මෙම උපාය දූතයා ක්‍රියා කර ඇති අතර, එම සාර්ථක මෙහෙයුම හරහා ව්‍යාජ ලේඛන සැකසීමේ ප්‍රධාන සැකකරු නීතියේ රැහැනට කොටුකර ගැනීමට පොලිසියට හැකි වී ඇත. අනතුරුව සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීම්වලදී හෙළි වී ඇත්තේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට අනුයුක්තව සේවය කළ අදාළ ආරක්ෂක නිලධාරියා විසින් බලපත්‍රවල නිරවද්‍යතාවය තහවුරු කිරීම සඳහා යොදාගන්නා නිල ආරක්ෂිත ස්ටිකර් (Security stickers) රහසිගතව සොරකම් කර ඇති බවයි. ඔහු විසින් එම ස්ටිකරයක් රුපියල් 500ක සුළු මුදලකට ප්‍රධාන සැකකරු වෙත අලෙවි කර තිබේ. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදීත් එම නිලධාරියා සතුව තිබී එලෙස සොරාගත් ආරක්ෂිත ස්ටිකර් නවයක් පොලිස් භාරයට ගෙන ඇති අතර, සැකකරුවන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මේ වනවිට බොරලැස්ගමුව පොලිසිය වෙත භාර දී ඇත.
මේ අතර, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තුළ ක්‍රියාත්මක වන තවත් සංවිධානාත්මක දූෂණ ක්‍රියාවලියක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශනය කිරීමේ කොමිෂන් සභාව (CIABOC) සහ පොලිස් විශේෂ කාර්යාංශය එක්ව පුළුල් පරීක්ෂණයක් ද ආරම්භ කර තිබේ. වාහන ආනයනකරුවන් වෙත ගරාජ් අංක හෙවත් සීසී (CC) අංක නිකුත් කිරීමේදී ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් විසින් අල්ලස් ලබාගැනීමේ සිද්ධියක් කෙරෙහි මෙම පරීක්ෂණවලදී ප්‍රධාන වශයෙන් අවධානය යොමු වී ඇත. හිටපු කොමසාරිස්වරයෙකු විසින් නිකුත් කරන ලද චක්‍රලේඛයක් අවභාවිත කරමින් අදාළ නිලධාරීන් විසින් මෙම ජාවාරම සිදුකර ඇති බව විමර්ශනවලදී තවදුරටත් අනාවරණය වී තිබේ. අදාළ චක්‍රලේඛය මගින් ව්‍යාපාර ලියාපදිංචිය, බදු වාර්තා සහ භෞතිකව ස්ථාන පරීක්ෂා කිරීම් ඇතුළු දැඩි සත්‍යාපන ක්‍රියාවලියක් අනිවාර්ය කර තිබුණද, මෙම නිලධාරීන් විසින් ආනයනකරුවන්ගෙන් විශාල මුදලක් කප්පම් ලෙස ලබාගැනීමේ අරමුණින් එම අනුමත කිරීමේ ක්‍රියාවලිය ඉක්මන් කර දෙන බව පවසා එය හිතාමතාම සංකීර්ණ කර ඇති බවට ඔවුන්ට චෝදනා එල්ල වී ඇත.



