
ශ්‍රී ලංකන් ගුවන් සමාගමට 2013 වසරේදී ගුවන් යානා දහයක් මිලදී ගැනීමේ ගනුදෙනුවකට අදාළව යුරෝපීය සමාගමකින් ඇමරිකානු ඩොලර් මිලියන දෙකක අල්ලසක් ලබාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හිටපු අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ පුත් ශමීන්ද්‍ර රාජපක්ෂ සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ බිරිඳ වන ප්‍රියංගා නියෝමාලී යන අයට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා විසින් විවෘත වරෙන්තු නිකුත් කර තිබේ.
බෲනායි රාජ්‍යයේ ව්‍යාජ සමාගමක් පිහිටුවමින් මෙම අල්ලස් මුදල ලබාගෙන ඇති බවට අල්ලස් කොමිසම විසින් කරුණු දක්වා ඇති අතර, විදේශගතව සිටින මෙම සැකකරුවන් දිගින් දිගටම අධිකරණය සහ විමර්ශන මඟහරිමින් සිටින බැවින් මෙම වරෙන්තු නිකුත් කිරීම සිදුවිය. නිකුත් කරන ලද වරෙන්තුව ආගමන විගමන පාලකවරයා වෙත යොමු කිරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා, මෙම සැකකරුවන්ට එරෙහිව ඉංග්‍රීසි භාෂාවෙන් ජාත්‍යන්තර රතු වරෙන්තු නිකුත් කිරීමට පියවර ගන්නා ලෙසත්, ඔවුන් විදේශගත වූ දිනය සහ රට සම්බන්ධයෙන් පූර්ණ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් අල්ලස් කොමිසමට තවදුරටත් නියෝග කළේය.
මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පළමු සැකකාර කපිල චන්ද්‍රසේන මහතා ද අධිකරණයට ඉදිරිපත් කර තිබුණු අතර, ඔහුව ලබන 17 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරිණි. සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මහතා පෙන්වා දුන්නේ 2020 වසරේ ඇරඹි මෙම විමර්ශනයට අදාළව වසර හයකට පසුව මෙලෙස කරුණු වාර්තා කිරීම ගැටලු සහගත බවත්, එවකට කොටුව මහේස්ත්‍රාත්වරයාව සිටි වත්මන් අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින්ම මීට පෙර ඔහුට ඇප ලබා දී තිබූ බවත්ය. කෙසේ වෙතත්, 2023 අංක 23 දූෂණ විරෝධී පනත අනුව විමර්ශන ප්‍රගතිය දැක්විය යුත්තේ අවශ්‍ය විටදී පමණක් බවත්, සැකකරුට ඇප ලබාදීම ඔහුගේ ජීවිතයට තර්ජනයක් විය හැකි බැවින් ඊට දැඩිව විරුද්ධ වන බවත් අල්ලස් කොමිසම එහිදී අවධාරණය කළේය.
මේ අතර, අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුගේ දිවුරුම් ප්‍රකාශයක තොරතුරු ඇතුළත් ලේඛනයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීම සම්බන්ධයෙන් ද අල්ලස් කොමිසම අධිකරණයේ අවධානයට යොමු කළ අතර, එමඟින් සැකකරුගේ ජීවිතයට තර්ජනයක් එල්ල වන බවද පෙන්වා දුන්නේය. ඊට ප්‍රතිචාර දක්වමින් මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ අදාළ සමාජ මාධ්‍ය ලේඛනයේ අධිකරණ නිල මුද්‍රාව සටහන්ව තිබේද යන්න පිළිබඳව විමර්ශනය කර කරුණු වාර්තා කරන ලෙසයි. තවද, මෙම සිද්ධියට අදාළ මුදල් සංසරණය සම්බන්ධයෙන් එස්.එල්. ඇග්‍රෝ ආයතනයේ අධ්‍යක්ෂවරයෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවත්, හොංකොං, සිංගප්පූරුව සහ ශ්‍රී ලංකාව තුළ පවතින බැංකු ගිණුම් රැසක් සම්බන්ධයෙන් තවදුරටත් පුළුල් විමර්ශන ක්‍රියාත්මක බවත් අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ තනූජා බණ්ඩාර මහත්මිය අධිකරණයට දැනුම් දුන්නාය.

