telecom-insurance-lanka-hospital-not-for-sale

ශ්‍රී ලංකා ටෙලිකොම්, එයාර් ලංකා (ශ්‍රීලන්කන් ගුවන් සේවය), රජයේ රක්ෂණ සමාගම් සහ ලංකා හොස්පිටල් යන ආයතන විකිණීම සඳහා පසුගිය රජය විසින් ගෙන තිබූ තීරණය වත්මන් රජය යටතේ ක්‍රියාත්මක නොකරන බව නීතිපතිවරයා විසින් ඊයේ (02) ශ්‍රේෂ්ඨාධිකරණයට නිල වශයෙන් දැනුම් දෙනු ලැබීය.




මෙම දැනුම්දීම සිදු කෙරුණේ අදාළ රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කිරීමේ තීරණය වළක්වන්නැයි ඉල්ලා වෛද්‍ය ගුණදාස අමරසේකර මහතා ඇතුළු පිරිසක් විසින් ඉදිරිපත් කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අධිකරණය හමුවේ සලකා බැලුණු අවස්ථාවේදීය. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එවකට අමාත්‍ය මණ්ඩලය මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබුණි.

අචල වෙන්ගප්පුලි, මහින්ද සමයවර්ධන සහ සම්පත් අබේකෝන් යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ මෙම පෙත්සම කැඳවනු ලැබූ අතර, එහිදී නීතිපතිවරයා නියෝජනය කළ රජයේ නීතිඥවරිය විසින් වත්මන් රජයේ ස්ථාවරය අධිකරණයට පැහැදිලි කරන ලදී. එම සමාගම් විකිණීමේ තීරණය අත්හැර ඇති බවත්, ඒ වෙනුවට එම ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමේ අරමුණින් පමණක් මේ වන විට කමිටු පත්කර ඇති බවත් ඇය එහිදී වැඩිදුරටත් අවධාරණය කළාය.




රජයේ මෙම නව තීරණය පිළිබඳව කරුණු දැක්වීමෙන් අනතුරුව, නීතිඥ සවතී රාජකරුණා මහත්මිය සමඟ පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කනිෂ්ක විතාරණ මහතා අධිකරණයට ප්‍රකාශ කළේ අදාළ පෙත්සම තවදුරටත් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවක් තම පාර්ශ්වයට නොමැති බවයි. ඉදිරිපත් වූ එම සියලු කරුණු කෙරෙහි අවධානය යොමු කළ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පෙත්සම් විභාගය අවසන් කිරීමට තීන්දු කරන ලදී.