a-student-dies-after-10-days-of-being-beaten-up-at-school

උඩ මත්තල කනිටු විදුහලේ සිසුන් දෙදෙනෙකු අතර පසුගියදා ඇති වූ ගැටුමකින් බරපතළ තුවාල ලබා රෝහල්ගත කර සිටි වයස අවුරුදු පහළොවක පාසල් සිසුවෙකු දින දහයකට පසුව ජිවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ සූරියවැව, රන්මුදුවැව, මහ අලුත්ගම්ආර වැව්ඉවුර ප්‍රදේශයේ පදිංචිව සිටි එච්.එම්.

නිම්සර දෙනුවන් නමැති සිසුවා බව මත්තල පොලිසිය තහවුරු කරයි.




පොලිස් පරීක්ෂණ හරහා අනාවරණය වී ඇති තොරතුරුවලට අනුව, මෙම ඛේදවාචකයට මුල් වූ සිදුවීම පසුගිය 23 වැනි දින දහවල් කාලයේදී පාසල් භූමිය තුළදීම සිදුව ඇත. එහිදී මියගිය සිසුවා සහ තවත් දාහතර හැවිරිදි සිසුවෙකු අතර ඇති වූ බහින්බස් වීමක් දුරදිග ගොස් දැඩි ගුටිබැට හුවමාරුවක් දක්වා වර්ධනය වී තිබේ. එම පහරකෑමෙන් බරපතළ ලෙස තුවාල ලැබූ නිම්සර සිසුවා වහාම ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර, එහි ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු පළමුවැනිදා රාත්‍රියේදී මෙසේ අවසන් හුස්ම හෙළා ඇත.

මෙම සිදුවීමට අදාළව පහරදීම සිදු කළ බවට චෝදනා ලැබූ දාහතර හැවිරිදි පාසල් සිසුවා සිද්ධිය වූ දිනයේම පොලිස් අත්අඩංගුවට ගෙන තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නිලධාරීන් කටයුතු කර තිබිණි. එහිදී අදාළ සැකකාර බාලවයස්කාර සිසුවා රුපියල් ලක්ෂ පහක ශරීර ඇපයක් මත මුදාහැරීමට අධිකරණය නියෝග කළ අතර, පරිවාස නිලධාරීන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ ඔහු සිය පියාගේ භාරයට පත් කෙරිණි.




කෙසේ වෙතත්, පහරකෑමට ලක්වූ සිසුවාගේ අභාවයත් සමඟ මෙම නීතිමය ක්‍රියාවලිය තවදුරටත් වෙනස් වීමට නියමිත බව පොලිසිය පවසයි. ඒ අනුව සිසුවාගේ මරණය සම්බන්ධයෙන් අධිකරණය වෙත නව කරුණු වාර්තාවක් ඉදිරිපත් කර, දැනට ඇප මත මුදාහැර සිටින සැකකාර සිසුවා නැවතත් පොලිස් භාරයට ගෙන තිස්සමහාරාම අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට මත්තල පොලිසියේ අපරාධ විමර්ශන අංශය මේ වන විට අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් සිටියි. මියගිය නිම්සර දෙනුවන් සිසුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණය ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේදී ඊයේ දිනයේ පැවැත්වීමට කටයුතු යොදා තිබුණි.