can-shammi-be-dropped-as-per-icc-sports-act---international-cricket-websites-explained

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා ඇතුළු එහි විධායක කමිටු සාමාජිකයින් සිය තනතුරුවලින් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ක්‍රිකට් පාලනය භාර ගැනීම සඳහා නව පරිපාලනයක් පත් කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කරමින් කරන ලද ඉල්ලීමකට අනුව අඟහරුවාදා පැවති විශේෂ විධායක කමිටු රැස්වීමකදී මෙම තීරණය ගෙන ඇත.

පැය තුනකට ආසන්න කාලයක් පුරා සිදු කරන ලද දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුව ඔවුන් මෙම එකඟතාවයට පැමිණ ඇති අතර, අදාළ ඉල්ලා අස්වීමේ ලිපි බදාදා දිනයේදී ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා වෙත භාරදීමට නියමිතව තිබුණි.මොවුන් තනතුරු වලින් ඉවත් කිරීමට දේශපාලන අධිකාරියකට ඇති හැකියාව පිළිබඳ පෙර අවස්තාවන්ද විග්‍රහ කරමින් ක්‍රික් බස්, එන්ඩීටීවී ස්පොර්ට්ස් ඇතුළු මාධ්‍ය මේ වනවිට ලිපි පළ කර තිබේ.




ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පසුබෑම සහ ක්‍රීඩකයින්ගෙන් එල්ල වූ විවිධ පැමිණිලි සැලකිල්ලට ගනිමින් පසුගිය මාර්තු මාසයේ සිටම ශම්මි සිල්වා මහතා ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු වී තිබුණි. විශේෂයෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය (BCCI) එක්ව සත්කාරකත්වය දැරූ පසුගිය විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායමට සුපිරි 8 දෙනාගේ වටයට හෝ පිවිසීමට නොහැකි වීම රජයේ මෙම මැදිහත්වීමට ප්‍රබල ලෙස බලපා ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් දූෂණ චෝදනා එල්ල වී තිබුණද, මේ දක්වා කිසිදු නිල චෝදනාවක් ගොනුකර නොමැති බවත්, ඔවුන් ලෝක කුසලාන තරගාවලියක් සාර්ථකව පවත්වා ආදායම් ඉහළ නංවා ඇති බවත්, 2029 වසරේදී තවත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල (ICC) තරගාවලියක් සඳහා සත්කාරකත්වය දැරීමට නියමිත බවත් හිටපු ක්‍රිකට් සභාපතිවරයෙකු ප්‍රකාශ කර තිබුණි.

ශම්මි සිල්වා මහතාගේ ඉවත් වීමෙන් පසු ඇතිවන පුරප්පාඩුව සඳහා තාවකාලික පාලක මණ්ඩලයක් පත් කිරීමට රජය දැනටමත් තීරණය කර ඇති බව වාර්තා වේ. ඒ අනුව හිටපු අමාත්‍යවරයෙකු මෙන්ම වත්මන් විපක්ෂයේ සාමාජිකයෙකු ද වන ඉරාන් වික්‍රමරත්න මහතා රජයේ නියෝජිතයා ලෙස මෙම අන්තර්කාලීන පාලක මණ්ඩලයේ ප්‍රධානියා ලෙස පත් කිරීමට බොහෝදුරට ඉඩකඩ පවතී. ජනාධිපතිවරයාගේ සෘජු අධීක්ෂණය යටතේ මෙම බල හුවමාරුව සිදුවන බැවින් විධායක කමිටුවේ ඇතැම් සාමාජිකයින් සිය ඉතිරි ධුර කාලය සම්පූර්ණ කිරීමට උත්සාහ කළද ඒ සඳහා කිසිදු අවස්ථාවක් හිමිවී නොමැත.




2019 වසරේදී සාමාජික සමාජවල බහුතර ඡන්දයෙන් පළමු වරට ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා ලෙස තේරී පත් වූ තිලංග සුමතිපාල මහතාගේ අනුප්‍රාප්තිකයා වූ 65 හැවිරිදි ශම්මි සිල්වා මහතා, ඉන් අනතුරුව 2021, 2023 සහ 2025 වසරවලදී නිතරගයෙන්ම එම තනතුර සඳහා යළිත් තේරී පත් විය. ඊට අමතරව ඉන්දියාවේ ජේ ෂා මහතාගෙන් පසු 2025 වසරේදී ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයා ලෙසද ඔහු කටයුතු කළේය. සිය වත්මන් නිල කාලය අවසන් වීමට තවත් වසරක කාලයක් ඉතිරිව තිබියදී ඔහුට මෙලෙස සිය හත් වසරක ක්‍රිකට් පරිපාලන යුගයට සමුදීමට සිදුවී ඇත.

1973 ක්‍රීඩා පනතට අනුව ජාතික ක්‍රීඩා සංගම් විසුරුවා හැරීමේ බලය ක්‍රීඩා අමාත්‍යවරයාට පැවරී තිබුණද, තේරී පත් වූ පාලක මණ්ඩලයකට රජය මැදිහත්වීම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රඥප්තියට පටහැනි වේ. මින් පෙර ඉන්දියාවේ පැවති 2023 වසරේ ලෝක කුසලාන තරගාවලියේ පරාජයෙන් පසු දෙසැම්බර් මාසයේදී එවකට සිටි ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් ශම්මි සිල්වා මහතාව තනතුරෙන් ඉවත් කර අන්තර්කාලීන කමිටුවක් පත් කළ අවස්ථාවේදී, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවේ සාමාජිකත්වය අත්හිටුවීමට පියවර ගත් අතර, 2024 ජනවාරි මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ යොවුන් ලෝක කුසලාන තරගාවලියේ සත්කාරකත්වයද දකුණු අප්‍රිකාව වෙත ගෙන යන ලදී. කෙසේ වෙතත්, අනාගතයේදී මාස හයක් ඇතුළත නව මැතිවරණයක් පවත්වන බවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වෙත මේ වනවිටත් දැනුම් දී ඇති බව වාර්තා වේ. මීට සමාන තත්ත්වයක් බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය තුළද නිර්මාණය වී ඇති අතර, එහි රජය විසින් අමිනුල් ඉස්ලාම්ගේ ප්‍රධානත්වයෙන් යුත් මණ්ඩලය ඉවත් කර ඒ වෙනුවට තමිම් ඉක්බාල්ගේ නායකත්වයෙන් යුත් නව මණ්ඩලයක් පත් කර ඇති නමුත් ඒ පිළිබඳවද ICC යේ බරපතළ මැදිහත්වීමක් හෝ පියවර ගැනීමක් මෙතෙක් සිදුවී නොමැත.