they-are-looking-into-whether-cable-cars-can-be-installed-in-siripade

ශ්‍රී පාදස්ථානය වෙත පැමිණෙන බැතිමතුන් සහ සංචාරකයන් උදෙසා කේබල් කාර් පද්ධතියක් හඳුන්වාදීමේ හැකියාව පිළිබඳව රජයේ විශේෂ අවධානය යොමු වී තිබේ. මෙරට සංචාරක යටිතල පහසුකම් නගාසිටුවීමේ පුළුල් වැඩපිළිවෙළක එක් පියවරක් ලෙස මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ මූලික ගවේෂණ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව වාර්තා වේ.




විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පසුගිය අඟහරුවාදා පැවති සංචාරක කාර්ය සාධක බලකා රැස්වීමේදී මෙම යෝජනාව පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. ශ්‍රී පාද ප්‍රදේශය සඳහා කේබල් කාර් පද්ධතියක් ලබාදෙන ලෙස කාලයක සිට ඉදිරිපත්ව ඇති ඉල්ලීම් සලකා බලමින්, ශ්‍රී පාදස්ථානයට අමතරව කිකිලියාමාන සහ ඇල්ල වැනි සංචාරක ආකර්ෂණය දිනාගත් ස්ථාන කිහිපයක ද මෙවැනි ව්‍යාපෘති ආරම්භ කිරීමේ ශක්‍යතාව පිළිබඳව එහිදී විමසා බලා ඇත.

මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය මූලික අනුමැතිය ලබාගැනීම, ශක්‍යතා අධ්‍යයනයන් සිදුකිරීම සහ තාක්ෂණික වාර්තා පරීක්ෂා කිරීම කඩිනම් කරන ලෙස මෙහිදී උපදෙස් ලැබී තිබේ. මීට අමතරව, මෙරටට සංචාරකයන් පැමිණීම තවදුරටත් දිරිගැන්වීම සඳහා මැයි මස 25 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි රටවල් 40ක පුරවැසියන් වෙනුවෙන් වීසා රහිත පහසුකම් සැලසීමේ වැඩපිළිවෙළෙහි ප්‍රගතිය ද මෙම රැස්වීමේදී සමාලෝචනය කරන ලදී.




වනජීවී හා සංරක්ෂණ ක්ෂේත්‍රය ආශ්‍රිත පහසුකම් සංවර්ධනය කිරීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු වූ අතර, යාල ඇතුළු මෙරට ප්‍රධාන ජාතික වනෝද්‍යාන 19ක සනීපාරක්ෂක පහසුකම් නඩත්තු කිරීමේ වගකීම පෞද්ගලික අංශය වෙත පවරා ඇති බව බලධාරීන් විසින් අනාවරණය කරන ලදී. තවද, කොල්ලුපිටිය ප්‍රදේශයේ සිට වෙරළබඩ කලාපය යා කරමින් විශේෂ සංචාරක කලාපයක් පිහිටුවීමට ද සැලසුම් කර ඇති අතර, එමගින් දිනකට සංචාරකයන් 2,000ත් 3,000ත් අතර ප්‍රමාණයක් ආකර්ෂණය කර ගැනීමට අපේක්ෂිතය.

සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා ඇතුළු සංචාරක සංවර්ධන අධිකාරියේ සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් සහභාගී වූ මෙම සාකච්ඡාවේදී මෙරට සංචාරක ක්ෂේත්‍රයේ ඉදිරි ප්‍රගමනය උදෙසා ගතයුතු තීරණාත්මක පියවර රැසක් පිළිබඳව එකඟතාවන්ට එළඹ තිබේ.

they-are-looking-into-whether-cable-cars-can-be-installed-in-siripade