
ශ්‍රී ලාංකික ස්මාර්ට් ජංගම දුරකථන පරිශීලකයින් ඉලක්ක කරගනිමින් බැංකු ගිණුම්වල ඇති මුදල් සොරාගන්නා නවතම සයිබර් අපරාධයක් පිළිබඳව ශ්‍රී ලංකා පොලිසිය විසින් තොරතුරු අනාවරණය කරගෙන තිබේ. මෙම ඩිජිටල් ජාවාරම ප්‍රධාන වශයෙන්ම ක්‍රියාත්මක වන්නේ වට්ස්ඇප් (WhatsApp) සහ ටෙලිග්‍රෑම් (Telegram) වැනි ජනප්‍රිය සමාජ මාධ්‍ය යෙදවුම් හරහා හුවමාරු වන ".apk" (Android Package Kit) ගොනු මාර්ගයෙනි.
මෙහිදී ජාවාරම්කරුවන් විසින් නාඳුනන අංකවලින් පමණක් නොව, ඇතැම්විට ඔබේ මිතුරෙකුගේ නමින් පවා මෙම අනිෂ්ට ගොනු එවීම සිදු කරනු ලබයි. බොහෝ අවස්ථාවලදී මෙම ගොනු මංගල ආරාධනා පත්‍ර, විදුලි බිල්පත් හෝ දිනුම් ඇදීම් වැනි ආකර්ෂණීය හෝ වැදගත් ලියකියවිලි ලෙස පෙනී සිටින අතර, පරිශීලකයින් ඒවා ඡායාරූප හෝ පීඩීඑෆ් (PDF) ලේඛන යැයි රැවටී විවෘත කිරීමට පෙළඹේ. එහෙත්, මෙම .apk ගොනුවක් යනු ඇන්ඩ්‍රොයිඩ් දුරකථන සඳහා යෙදවුම් (Apps) ස්ථාපනය කිරීමේ සැකසුම් ගොනුවක් වන බැවින්, එය මත ක්ලික් කළ සැණින් හොර රහසේම ඔබේ දුරකථනය තුළ අදාළ අනිෂ්ට යෙදවුම ස්ථාපනය වීම සිදුවේ.
මෙලෙස යෙදවුම ස්ථාපනය වූ පසු, ඔබගේ ජංගම දුරකථනයේ සම්පූර්ණ පාලනය හැකර්වරුන්ගේ ග්‍රහණයට නතු වන අතර, ඒ හරහා ඔබගේ කෙටි පණිවිඩ (SMS) කියවීමේ හැකියාව ඔවුන්ට හිමිවෙයි. මෙහි ඇති භයානකම තත්ත්වය වන්නේ, ඔබගේ බැංකු ගිණුම්වලට අදාළව ලැබෙන රහස්‍ය OTP කේතයන් පවා ඔබගේ දැනුවත්භාවයකින් තොරවම හැකර්වරුන් අතට පත්වීමත්, ඒ හරහා බැංකු ගිණුම්වල ඇති මුදල් පහසුවෙන්ම කොල්ලකෑමට ඔවුන්ට අවස්ථාව සැලසීමත්ය.
මෙම අවදානමෙන් මිදීම සඳහා, කවර පාර්ශවයකින් ලැබුණද සැකකටයුතු කිසිදු .apk ගොනුවක් භාගත කිරීමෙන් හෝ විවෘත කිරීමෙන් සම්පූර්ණයෙන්ම වළකින ලෙස පොලිසිය ජනතාවට දැඩිව අවවාද කරයි. ජංගම දුරකථනයට අවශ්‍ය යෙදවුම් ලබාගැනීමේදී සැමවිටම Google Play Store හෝ Apple App Store වැනි නිල මාධ්‍යයන් පමණක් භාවිත කළ යුතු අතර, දුරකථන සැකසුම් (Settings) තුළ ඇති "Install Unknown Apps" පහසුකම අක්‍රිය කර තැබීමද අනිවාර්ය වේ.
යම් හෙයකින් මෙම ජාවාරමට ඔබ දැනටමත් ගොදුරු වී ඇත්නම්, වහාම ක්‍රියාත්මක වී ඔබගේ බැංකු ගිණුම් අත්හිටුවීමට පියවර ගත යුතු අතර, ඉන් අනතුරුව ළඟම ඇති පොලිස් ස්ථානයට හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයට ඒ බව දැනුම් දිය යුතු බවට පොලිසිය වැඩිදුරටත් අවධාරණය කර සිටියි.

