ජාත්‍යන්තරයේ පවා දැඩි අවධානයකට ලක්ව ඇති "Walk for Peace" නොහොත් සාම පාගමන මේ දිනවල දිවයින පුරා ගමන් කරමින් පවතින අතර, එය වඩාත් සාර්ථක කර ගැනීම උදෙසා දැඩි විනයකින් සහ ඉමහත් සංයමයකින් යුතුව කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා පොලීසිය මහජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කර සිටියි. වියට්නාම ජාතික පූජ්‍ය පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය සහ විදේශීය දූත පිරිසකගේ සහභාගීත්වයෙන් යුත් මෙම සුවිශේෂී පාගමන පසුගිය අප්‍රේල් 21 වන දින අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියසින් ආශිර්වාද ලබාගැනීමෙන් අනතුරුව සිය ගමන් ආරම්භ කරන ලදී.
එලෙස ආරම්භ වූ මෙම ගමන දඹුල්ල පූජා නගරය පසුකරමින් නාළල, මාතලේ, මහනුවර, කඩුගන්නාව සහ කෑගල්ල හරහා තෝලංගමුව, කජුගම, යක්කල, මහර, කැලණිය යන ප්‍රදේශ ආවරණය කරමින් ගමන් කිරීමට නියමිතව ඇත. දින ගණනාවක් පුරා සිදුකෙරෙන මෙම පදික චාරිකාවේ අවසන් ගමනාන්තය වන්නේ කොළඹ නිදහස් චතුරස්‍රය වන අතර, පිරිස එළඹෙන අප්‍රේල් 28 වන දින එම ස්ථානය වෙත ළඟා වීමට සැළසුම් කර තිබේ.
මෙම ලෝක සාම පාගමන සඳහා ලොව පුරා දැඩි ජනප්‍රියත්වයක් උසුලන "ආලෝකා" නම් සුනඛයා ද එක්ව සිටීම විශේෂත්වයක් වන අතර, මේ හේතුවෙන් පාගමනට ගෞරව දැක්වීම සඳහා මාර්ගය දෙපස විශාල මහජනතාවක් රැස්ව සිටින ආකාරය මේ දිනවල දැකගත හැකිය. එහෙත් මෙලෙස මාර්ගය දෙපසට එක්රැස් වන ඇතැම් පිරිස් එකිනෙකා තෙරපා ගනිමින් අනවශ්‍ය ලෙස ඡායාරූප මෙන්ම වීඩියෝ දර්ශන ලබා ගැනීමට උත්සාහ කිරීම් සහ අදාළ සුනඛයා ස්පර්ශ කිරීමට යෑම වැනි සිදුවීම් හේතුවෙන් යම් යම් බාධාකාරී තත්ත්වයන් වාර්තා වී ඇති බව පොලීසිය පෙන්වා දෙයි.
එවැනි ක්‍රියාකාරකම් මෙම ගෞරවනීය පාගමනේ නිරතව සිටින ගරුතර ස්වාමීන් වහන්සේලාට මෙන්ම සෙසු දූත පිරිසට මහත් හිරිහැරයක් මෙන්ම ඔවුන්ගේ ගමනට දැඩි බාධාවක් ගෙන දෙන බව බලධාරීන් විසින් අවධාරණය කරනු ලබයි. එබැවින් පාගමනට ගෞරව දැක්වීමේදී කිසිදු ආකාරයක හිංසාකාරී හෝ බාධාකාරී හැසිරීමකින් තොරව ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු වන පරිදි මහජන සහාය ලබා දෙන ලෙස පොලීසිය විසින් ජනතාවට තවදුරටත් දැනුම් දී සිටියි.

