super-profit-below-rmv-by-selling-special-numbers

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විශේෂ වාහන ලියාපදිංචි අංක නිකුත් කිරීමේ ක්‍රමවේදයක් හරහා ගතවූ වසර හතරක කාලසීමාව තුළ රුපියල් කෝටි 118ක දැවැන්ත ආදායමක් උපයා ගැනීමට සමත්ව තිබේ. පවතින සාමාන්‍ය අංක පිළිවෙළට වඩා අංක ලක්ෂයක් ඉදිරියෙන් ඇති විශේෂ අංක තහඩු වෙන්කර දීමෙන් මෙම ආදායම හිමිකරගෙන ඇති බව රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවේ අදාළ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අනාවරණය කරනු ලැබීය.




මෙම විශේෂ පහසුකම යටතේ වාහන හිමියන් රැසක් සිය රථ සඳහා අංක ලබාගෙන ඇති බව දත්ත මගින් තහවුරු වේ. ඒ අනුව 2023 වර්ෂයේදී වාහන 11ක් සහ 2024 වර්ෂයේදී වාහන 46ක් සඳහා එම අංක නිකුත් කර ඇති අතර, 2025 වර්ෂය වන විට එම ඉල්ලුම වාහන 692ක් දක්වා ශීඝ්‍රයෙන් වර්ධනය වී ඇත. එසේම මේ වසරේ ගතවූ කාලය තුළ පමණක් වාහන 436ක් සඳහා මෙලෙස විශේෂ අංක ලබාගෙන තිබේ. මෙලෙස අංක ලක්ෂයක් ඉදිරියට ගොස් විශේෂ අංකයක් වෙන්කර ගැනීමේදී එක් අංකයක් සඳහා රුපියල් මිලියනයක (ලක්ෂ දහයක) මුදලක් අය කිරීමට රජයේ මුදල් කාරක සභාව විසින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වෙත නිල වශයෙන් සිය අවසරය ලබා දී ඇත.

මෙම ගාස්තු ක්‍රමවේදය යටතේ පවතින සාමාන්‍ය අංකයකින් ඔබ්බට අංකයක් ලබාගැනීමට අවම රු 100 000ද ක් ගෙවිය යුතුවන අතර ලක්ෂයක මුදලට ඉදිරි 10000 ඇතුළත අංකයක් ලක්ෂ 2 ක මුදලට ඉදිරි 20000 ඇතුළත අංකයක් ආදී ලෙස මිලට ගැනීමට අවස්ථාව සලසා දෙනු ලැබීය. ඉදිරි 50000 ත් 100000 ත් අතර අංක ලබාගැනීමට මිලියනයක මුදලක් අයකර තිබුණි. 

කෙසේ වෙතත්, අදාළ නිලධාරීන් කාරක සභාව හමුවේ කැඳවූ අවස්ථාවේදී අවධානයට ලක්වූ තවත් විශේෂ කරුණක් වූයේ, නිල ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත්කිරීමකින් තොරව වසර තුනකට ආසන්න කාලයක් පුරාවට මෙම මුදල් අයකිරීම සිදුකර ඇති බවයි. මෙම විශේෂ අංක නිකුත් කිරීමේ ක්‍රියාවලිය යතුරුපැදි, ත්‍රිරෝද රථ සහ ත්‍රිරෝද වෑන් රථ යන වාහන කාණ්ඩ සඳහා අදාළ නොවන අතර, එම කාණ්ඩවලින් බැහැර වන සෙසු ඕනෑම මෝටර් වාහනයක් සඳහා නියමිත ගාස්තුව ගෙවීමෙන් පසු මෙම විශේෂ අංක තහඩු ලබාගැනීමේ අවස්ථාව හිමිවනු ඇත.

super-profit-below-rmv-by-selling-special-numbers