කොළඹ වරාය නගරයේ ස්ථාපිත කර ඇති තීරු බදු රහිත වෙළෙඳසැල්වලින් භාණ්ඩ මිලදී ගැනීමේදී ශ්‍රී ලාංකික පුරවැසියන් සඳහා පනවා තිබූ සීමා කිරීම් රැසක් ලිහිල් කිරීමට රජය පියවර ගෙන තිබේ. 2021 අංක 11 දරන කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභා පනතට අදාළව 2026 පෙබරවාරි 13 වන දින නිකුත් කරන ලද අංක 2475/28 දරන අතිවිශේෂ ගැසට් නිවේදනය මගින් පනවන ලද නියෝග සඳහා පාර්ලිමේන්තු රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිවීමත් සමග මෙම නව වෙනස්කම් බලාත්මක වනු ඇත.
මෙම තීරණයට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ වරාය නගරය වෙත පැමිණෙන විදේශීය සංචාරකයින්ගේ ප්‍රතිශතය සමස්ත පැමිණීම්වලින් සියයට 1.5ක් වැනි ඉතා අවම මට්ටමක පැවතීමයි. ඒ අනුව, දේශීය පාරිභෝගිකයින්ට වැඩි ප්‍රවේශයක් ලබා දෙමින් එම තීරු බදු රහිත සාප්පු සංකීර්ණයේ වාණිජමය කටයුතු වඩාත් ප්‍රවර්ධනය කිරීම මෙම නව ප්‍රතිපත්තියේ මූලික අරමුණ වී ඇති බව බලධාරීහු පෙන්වා දෙති. කෙසේ වෙතත්, මෙම සහනය හරහා මිලදී ගන්නා තීරු බදු රහිත භාණ්ඩ අනවසර ක්‍රම ඔස්සේ දේශීය වෙළෙඳපොළට නිකුත් වීමේ අවදානමක් පවතින බැවින්, ඒ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන බව කොළඹ වරාය නගරය ආර්ථික කොමිසම මුදල් කාරක සභාව හමුවේ අවධාරණය කර තිබේ.
මීට සමගාමීව, සේවකයින්ගේ සේවය අවසන් කිරීමේ පනතට (TEWA) අදාළව 2026 ජනවාරි 16 වන දින නිකුත් කරන ලද අංක 2471/52, 2471/53, 2471/54 සහ 2471/55 යන ගැසට් නිවේදන යටතේ වන නියෝග සංශෝධනය කිරීම සඳහා ද මුදල් කාරක සභාව සිය අනුමැතිය ලබා දී ඇත. 2025 වසරේදී ගනු ලැබූ ප්‍රතිපත්තිමය තීරණයක් මත ඇතැම් උපායමාර්ගික වැදගත්කමකින් යුත් ව්‍යාපාර සඳහා මෙම පනත අදාළ නොවන බවට මීට පෙර ප්‍රකාශයට පත් කර තිබුණි.
එහෙත් අභියාචනාධිකරණය හමුවේ ගොනු කරන ලද පෙත්සමක ප්‍රතිඵලයක් ලෙස රජය සිය ස්ථාවරය වෙනස් කරමින් අදාළ නව ගැසට් නිවේදනය නිකුත් කර ඇත. එම සංශෝධනයට අනුව අදාළ ව්‍යාපාර සඳහා නිදහස් කරනු ලබන්නේ පනතේ 2, 11 සහ 12 යන වගන්ති පමණක් වන අතර සෙසු සියලුම විධිවිධාන අඛණ්ඩව බලාත්මක වනු ඇත. තවද, ද්විතියික උපායමාර්ගික වැදගත්කමකින් යුත් ව්‍යාපාර (Secondary BSI) ලෙස හඳුනාගෙන ඇති අනෙකුත් කාණ්ඩවල ව්‍යවසායන් සඳහා ද මෙවැනිම ආකාරයේ නිදහස් කිරීම් ලබා දීමට ඉදිරියේදී පියවර ගනිමින් සිටින බව අදාළ නිලධාරීන් විසින් වැඩිදුරටත් අනාවරණය කර තිබේ.

