people-taking-selfies-with-dogs-disrupt-the-peace-march

මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී අදහස් දක්වමින් මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහ මහතා ප්‍රකාශ කළේ, සාම පාගමනට එක්ව සිටින 'ආලෝකා' නමැති සුනඛයා සමඟ ඡායාරූප සහ සෙල්ෆි ගැනීමට ඇතැම් පිරිස් උත්සාහ කිරීම හේතුවෙන් දැඩි බාධාකාරී තත්ත්වයක් නිර්මාණය වී ඇති බවයි. මෙම සාම පාගමනට සහභාගී වී සිටින භික්ෂූන් වහන්සේලාට බාධා වන ආකාරයෙන් ගමන් නොකරන ලෙස කොතෙක් අවවාද කළද, ඇතැමුන් එම උපදෙස් නොසලකා හැරීම නිසා සංවිධායක මණ්ඩලය සහ භික්ෂූන් වහන්සේලා දැඩි අපහසුතාවයකට පත්ව සිටින බව ඔහු එහිදී පෙන්වා දුන්නේය.




විශේෂයෙන්ම යූ ටියුබ් නාලිකා කරුවන් ඇතුළු විශාල පිරිසක් මාධ්‍ය ආවරණ කටයුතු සිදුකරන මුවාවෙන් පාගමනට බාධා වන පරිදි හැසිරෙන බව නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේය. මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා, සංවිධායක මණ්ඩලයට හැර වෙනත් කිසිදු පුද්ගලයෙකුට භික්ෂූන් වහන්සේලා සමඟ සමාන්තරව ගමන් කිරීමට අවසර ලබා නොදීමට මේ වන විට තීරණය කර තිබේ. ඇමරිකා එක්සත් ජනපදයේදී මෙම භික්ෂූන් වහන්සේලා සහ ආලෝකා සුනඛයා කිසිදු හිරිහැරයකින් තොරව ගමන් කළද, ශ්‍රී ලංකාව තුළදී ජනතාව උන්වහන්සේලාට සමාන්තරව හෝ ආසන්නයෙන්ම පිටුපසින් ගමන් කිරීමට උත්සාහ කිරීම පාගමනට මහත් කරදරයක් වී ඇති බව ඒ මහතා අවධාරණය කළේය.

එසේ වුවද, මාර්ගය දෙපස රැඳී සිටිමින් කෙසෙල් කොළ අතුරා උන්වහන්සේලාට වන්දනාමාන කිරීමට ජනතාවට කිසිදු බාධාවක් නොමැති බව ඔහු පැහැදිලි කළේය. ජනතාවගේ මෙම හැසිරීම් හේතුවෙන් පාගමනේ කාලසටහනට ද දැඩි බලපෑම් එල්ල වී ඇති අතර, දඹුල්ලේ සිට නාවුල දක්වා වූ ගමනේදී නාවුලට ආසන්නයේ ලබාදීමට සැලසුම් කර තිබූ දහවල් දානය, ප්‍රමාදය හේතුවෙන් සැලසුම් කළ ස්ථානයට කිලෝමීටර් 8කට පමණ පෙර පූජා කිරීමට සිදුවූ බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා අනාවරණය කළේය.




මේ අතර, ආලෝකා සුනඛයාට මේ වන විට සුළු අසනීප තත්ත්වයක් හටගෙන ඇති අතර, ශ්‍රී ලංකා පොලීසියේ නිල සුනඛ අංශයේ කණ්ඩායමක් විසින් ඊට අවශ්‍ය ප්‍රතිකාර ලබාදෙමින් සිටින බව වාර්තා වේ. එවැනි තත්ත්වයක් යටතේ පවා ඇතැමුන් සුනඛයා සමඟ සෙල්ෆි ඡායාරූප ගැනීමට උත්සාහ කරන බව පවසන පොලීසිය, මෙම සාම පාගමනේ සැබෑ අරමුණ සාක්ෂාත් කර ගැනීමට නම් ඊට ජනතාවගේ පූර්ණ සහයෝගය අනිවාර්යයෙන්ම ලැබිය යුතු බව පවසයි. ජනතා සහාය නොලැබුණහොත් භික්ෂූන් වහන්සේලාගේ අරමුණ ඉටු නොවන බව තේරුම් ගත යුතු යැයි ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

people-taking-selfies-with-dogs-disrupt-the-peace-march