ඉන්දියාවේ කල්කටා වීදියක අතරමංව සිටි අසරණ වීදි සුනඛයකු, ලෝක නායකයන්ගේ සහ සමස්ත මානව සංහතියේම ආදරය දිනාගත් සාමයේ සංකේතයක් බවට පත්වනු ඇතැයි කවුරුන් නම් සිතන්නට ඇත්ද?
‘සාමය සඳහා ඇවිදින්න’ යන තේමාව පෙරදැරිව වියට්නාම ජාතික පඤ්ඤාකර හිමිපාණන් ප්‍රමුඛ භික්ෂූන් වහන්සේලා ආරම්භ කළ ඒහිපස්සිකෝ සාම පාගමන, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රධාන මැති ඇමතිවරුන්ගේ සහභාගීත්වයෙන් ඊයේ කොළඹ නිදහස් චතුරස්‍රයේදී සාර්ථකව නිමාවට පත් විය. එහෙත් මෙම ඓතිහාසික ගමනේ සැබෑම තරුව බවට පත්වෙමින් ජාත්‍යන්තරයේම අවධානය දිනාගත්තේ ‘ආලෝකා’ නමැති අපූරු සුනඛයාය. පසුගිය 21 වැනිදා අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආශිර්වාද ලබාගෙන 22 වැනිදා දඹුල්ලෙන් ඇරඹි මෙම චාරිකාවේදී ලොවම කතා කළේ භික්ෂූන් වහන්සේලාට නොදෙවෙනි ඉවසීමකින් ගමන් කළ මේ සත්වයා ගැනය.
මේ ගමන පුරාවටම ආලෝකා දැක්වූයේ පුදුමාකාර සංයමයකි. මහජනතාව කොතරම් ආදරයෙන් ළං වී අතපත ගෑවත්, කිසිදු දිනෙක කිසිවෙකුටත් නොගෙරවූ මේ සත්වයා, තමාගේ ලෝකය බවට පත්කරගෙන තිබුණේ තමන්ට සෙනෙහස දුන් භික්ෂූන් වහන්සේලා පමණි. පශු වෛද්‍යවරුන් පරීක්ෂණ සිදුකරන සෑම අවස්ථාවකදීම දැඩි කීකරු බවක් දැක්වූ ආලෝකා, නිරන්තරයෙන් උත්සාහ කළේ භික්ෂූන් වහන්සේලාගේ සෙවණේම දැවටෙමින් ගමන් කිරීමටයි. උදෑසන ස්වාමීන් වහන්සේලා අවදිවන විටම අවදි වන මේ ක්‍රියාශීලී සුනඛයාට, භික්ෂූන් වහන්සේලා සිය දෝතින්ම පැන් පෙවූ දර්ශන දුටුවන්ගේ නෙත්වලට කඳුළක් එක් කළේය.
කල්කටාවේදී පාගමනට එක්වී, ඇමරිකාව පුරාද පියමැන, ශ්‍රී ලංකාවට පැමිණි මේ සුවිශේෂී ආගන්තුකයාගේ ආරක්ෂාව සහ සෞඛ්‍යය වෙනුවෙන් බලධාරීන් දැක්වූයේද අසීමිත සැලකිල්ලකි. පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ සෘජු මැදිහත්වීමෙන්, ආලෝකාගේ සියලු වගකීම් මහනුවර අස්ගිරිය පොලිස් නිල සුනඛ කොට්ඨාසය වෙත පැවරුණි. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු සහ නියෝජ්‍ය පොලිස්පති චන්දන කොඩිතුවක්කු යන මහත්වරුන්ගේ උපදෙස් මත, අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාංචන ගොඩකුඹුර සහ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන කොලුගල මහත්වරු මෙහි මෙහෙයුම් කටයුතු සිදු කළහ. පුපුරන ද්‍රව්‍ය සෙවීමේ විශේෂ පුහුණුව ලත් නිලධාරීන් මෙන්ම යුද හමුදා කමාන්ඩෝ භටයන් දෙදෙනෙකුද ආලෝකාගේ ආරක්ෂාවට යොදවා තිබුණි. ඊට සමගාමීව, සහකාර පොලිස් අධිකාරී පශු වෛද්‍ය අමල් දිසානායක මහතාගේ මූලිකත්වයෙන් යුත් කණ්ඩායමක්, කටුනායකට පය තැබූ මොහොතේ සිටම සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව හා එක්ව උගේ සෞඛ්‍යය පිළිබඳව දැඩි අවධානයකින් පසුවූහ.
මේ අතරතුර, ආලෝකා අසනීප වී ඇති බවට විවිධ කටකතා පැතිර ගියේ බොහෝ දෙනෙකුගේ සිත් තුළ බියක් ඇති කරමිනි. එහෙත් සත්‍යය එය නොවේ. පේරාදෙණිය සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍යවරුන්ගේ සංගමයේ ලේකම් උදිත බණ්ඩාර විජේසිංහ මහතා තහවුරු කළ පරිදි, ආලෝකාට කිසිදු රෝගී තත්වයක් වැළඳී තිබුණේ නැත. මේ දිනවල පවතින අධික හිරු රශ්මියෙන් විය හැකි පීඩාව වළක්වා ගැනීම සඳහා, වෛද්‍ය උපදෙස් මත දහවල් කාලයේදී පාගමන වෙනුවට වාහනයකින් ආලෝකාව රැගෙන යාමට පියවර ගෙන තිබුණි. එසේ වාහනයෙන් යාමට පවා අකමැත්තක් දැක්වූ මේ ධෛර්යවන්ත සත්වයාට අවශ්‍ය වූයේ තම ස්වාමීන් වහන්සේලා සමඟ පයින්ම ගමන් කිරීමටය.
වීදියක උපත ලබා, කිසිදු භාෂාවක් නොදැන මුළු ලෝකයක්ම එකමුතු කළ ආලෝකා නම් වූ ඒ අපූරු සත්වයා, මනුෂ්‍යයන්ට කියා දුන් නිහඬ පාඩම දහසක් දේශනාවලට වඩා ප්‍රබලය.
