අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක පමණ මුදලක් වංචා සහගත ලෙස වෙනත් ගිණුමකට බැර කිරීමේ සිද්ධියකට අදාළව, ඊට සෘජුවම සම්බන්ධ බව කියන ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් පස් දෙනකුගේ විදේශ ගමන් තහනම් කිරීමට කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා නියෝග කළේය. මෙම මූල්‍ය අපරාධය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ කොට්ඨාසය විසින් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර ඇති අතර, ඊට අදාළව ආගමන හා විගමන පාලකවරයා දැනුවත් කරන ලෙසද අධිකරණ රෙජිස්ට්‍රාර්වරියට වැඩිදුරටත් නියම කර තිබේ.
විද්‍යුත් තැපැල් (ඊමේල්) පණිවුඩ හරහා මෙවැනි ආකාරයේ දැවැන්ත මූල්‍ය අපරාධයක් සිදුවීමේ අවදානමක් පවතින බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කල්තියාම මහ බැංකුව වෙත අනතුරු අඟවා තිබී ඇත. එසේ පූර්ව දැනුම් දීමක් කර තිබියදීත්, අදාළ නිලධාරීන් පස් දෙනාගේ සෘජු මැදිහත්වීමෙන් විද්‍යුත් තැපැල් ගනුදෙනු හරහා මෙම ඩොලර් මිලියන 2.5ක මුදල වෙනත් ගිණුමකට බැර කර ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි රහස් පොලිසිය අධිකරණයට පැවසීය. මාර්තු 24 වැනිදා ලද පැමිණිල්ලකට අනුව මේ පිළිබඳව විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ.
මෙම සැකකාර නිලධාරීන් විදේශගත වුවහොත් පරීක්ෂණ කටයුතුවලට බාධා එල්ල විය හැකි බව පෙන්වා දුන් රහස් පොලිසිය, ඔවුන්ගේ බැංකු ගිණුම් පරීක්ෂා කිරීමේ අවශ්‍යතාවද අධිකරණයට අවධාරණය කළේය. ඒ අනුව, අදාළ නිලධාරීන්ගේ සියලුම රාජ්‍ය සහ පෞද්ගලික බැංකු ගිණුම්වල සවිස්තරාත්මක තොරතුරු රහස් පොලිසිය වෙත ලබා දෙන ලෙස මහේස්ත්‍රාත්වරයා විසින් සියලුම බැංකු කළමනාකරුවන් වෙත නියෝගයක් නිකුත් කරන ලදී. මෙම විමර්ශන කටයුතු දණ්ඩ නීති සංග්‍රහය, පොදු දේපළ පනත සහ පරිගණක අපරාධ පනත යන නෛතික රාමුන්ට යටත්ව සිදු කෙරෙන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙහිදී ප්‍රකාශ කළේය.
මෙම සංකීර්ණ අපරාධය සිදු වූ ආකාරය නිවැරදිව අනාවරණය කර ගැනීම සඳහා විශේෂඥ කමිටුවක් පත් කිරීමටද අධිකරණය විසින් අවසර ලබා දී තිබේ. ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය, කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අංශය සහ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව යන ආයතන නියෝජනය කරන පරිගණක විශේෂඥ නිලධාරීන්ගෙන් මෙම කමිටුව සමන්විත විය යුතු බවට නියම කෙරිණි.
මෙම අපරාධයට සම්බන්ධ පුද්ගලයන් කවුරුන්ද යන්න සහ එහි ස්වභාවය පිළිබඳව පුළුල් විමර්ශනයක් සිදුකර කඩිනමින් අධිකරණයට වාර්තා කරන ලෙස රහස් පොලිසියට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා, අනාගතයේදී මෙවැනි සිදුවීම් වළක්වා ගැනීම සඳහා ගතහැකි කෙටි ක්‍රියාමාර්ග ඇතුළු ආරක්ෂිත පියවර වහාම ගන්නා ලෙසද මහ බැංකුවට උපදෙස් දුන්නේය.
