bail-for-the-former-director-of-the-alleged-loss-of-90-lakhs-to-the-government-in-dayata-kirula-exhibition

2013 වර්ෂයේ පැවති දැයට කිරුළ ජාතික ප්‍රදර්ශනයට සමගාමීව තාවකාලික වැසිකිළි පද්ධතියක් ඉදිකිරීමේ ටෙන්ඩරය සිය පුත්‍රයාගේ සමාගමකට ලබා දීම හරහා රජයට රුපියල් ලක්ෂ අනූවක මූල්‍යමය පාඩුවක් සිදුකළ බවට චෝදනා ලැබ සිටි එම ප්‍රදර්ශනයේ හිටපු අධ්‍යක්ෂවරියක ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා ඊයේ (02) නියෝග කළේය.




මෙසේ ඇප නියම වූයේ විදුලි සංදේශ සහ තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශයේ හිටපු සහකාර ලේකම්වරියක මෙන්ම අදාළ ප්‍රදර්ශනයේ අධ්‍යක්ෂවරියක ලෙස කටයුතු කළ කාන්ති ගුණවර්ධන නමැත්තියකටය. මෙම සිදුවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඇයව මීට පෙර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාස තුනක කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව පසුවී ඇත. එලෙස මාස තුනක කාලයක් බන්ධනාගාරගතව සිටීම සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ පැමිණිල්ලකට අනුව නොතීසි ලැබූ සැකකාරියක වීම යන කරුණු සැලකිල්ලට ගනිමින් ඇයට මෙලෙස ඇප ලබා දෙන බව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සිය නියෝගය ප්‍රකාශයට පත් කරමින් පෙන්වා දුන්නේය.

අධිකරණය හමුවේ කරුණු වාර්තා කරමින් අල්ලස් කොමිසම සඳහන් කර සිටියේ, අදාළ තාවකාලික වැසිකිළි ඉදිකිරීමේ ටෙන්ඩරය වෙනුවෙන් රුපියල් කෝටි එකහමාරක (15,000,000) මුදලක් අනුමත කරගෙන ඇති බවයි. ඉන් රුපියල් ලක්ෂ හැටක මුදලක් පමණක් ගෙවා, ටෙන්ඩරය සිය හිතවතුන්ට සහ පුත්‍රයාට අයත් සමාගමකට ලබා දීමෙන් ඇය රජයට රුපියල් ලක්ෂ අනූවක පාඩුවක් අරමුණු සහගතව සිදුකර ඇති බවට එම කොමිසම වැඩිදුරටත් චෝදනා කර තිබේ.




සැකකාරිය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥ ධනුෂ්ක ප්‍රසංජන මහතා ඉල්ලා සිටියේ, සිය සේවාදායිකාව මෙම සිදුවීමට අදාළව මීට පෙරද රහස් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අයෙකු බවත්, ඇය ඉදිරි විමර්ශන කටයුතු සඳහා පූර්ණ සහයෝගය ලබා දෙන බවත්ය. ඒ අනුව දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකාරිය මුදා හැරීමට නියෝග කළ අතර, මෙම නඩුවට අදාළ වැඩිදුර කරුණු එළඹෙන ජූලි මස 24 වන දින අධිකරණයට වාර්තා කරන ලෙස අල්ලස් කොමිසමට නියෝග කරනු ලැබීය.