සබරගමුව පළාත් නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට අනුයුක්තව සේවය කළ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු රුපියල් දෙලක්ෂ හතළිස් හයදහසක මුදලක් කප්පම් ලෙස ලබා ගැනීමේ චෝදනාවක් මත කුරුවිට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. පසුගිය පළමුවැනිදා අත්අඩංගුවට ගත් මෙම සැකකාර නිලධාරියාව මේ වන විට වැඩිදුර විමර්ශන කටයුතු සඳහා රත්නපුර විශේෂ විමර්ශන පොලිස් ඒකකය වෙත භාර දී තිබේ.
මෙම සිදුවීමට මුල් වී ඇත්තේ කුරුවිට, එදිරියන්වෙල, උඩකඩ ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු විසින් එන්ජින් ධාරිතාව 1000 CC වන යතුරුපැදියක් විකිණීම සඳහා වට්ස්ඇප් (WhatsApp) සමාජ මාධ්‍ය සමූහයකට යොමු කරන ලද පණිවිඩයකි. අදාළ පණිවිඩය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව තරුණයාගේ නිවසට පැමිණ ඇති සැකකාර පොලිස් පරීක්ෂකවරයා, මෙවැනි යතුරුපැදි භාවිත කිරීම නීතිවිරෝධී බවත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන්නේ තමා බවත් පවසා තිබේ. එසේම මෙම සිදුවීම නීතිමය වශයෙන් දුරදිග ගියහොත් ඔහුගේ පුතුන්ට විදේශගත වීමට පවා බාධා ඇතිවිය හැකි බව පවසමින් තරුණයාගේ පියා බියගන්වා ඇත.
එම තත්ත්වයෙන් ගැලවීම සඳහා සැකකරු විසින් මුලින් රුපියල් දස ලක්ෂයක කප්පම් මුදලක් ඉල්ලා ඇති අතර, පියාගේ අපහසුතාවය ප්‍රකාශ කිරීමෙන් පසු එය ලක්ෂ පහ දක්වාත්, අවසානයේ ලක්ෂ තුනක් දක්වාත් අඩු කරගැනීමට එකඟ වී තිබේ. ඉන් අනතුරුව සැකකාර පොලිස් නිලධාරියා තවත් පුද්ගලයෙකු සමඟ මෝටර් රථයකින් පැමිණ කුරුවිට - දැරණියගල මාර්ගයේදී අදාළ මුදල ලබාගෙන ඇත. එහිදී පැමිණිලිකරු විසින් රුපියල් දෙලක්ෂ පනස්දහසක් ඇතැයි සිතා මුදල් ලබා දී ඇති නමුත්, එහි රුපියල් පන්සියේ නෝට්ටු කිහිපයක් අඩුවීම හේතුවෙන් අඩු වූ රුපියල් හාරදහසක මුදල පිළිබඳව ද සැකකරු විසින් විමසා ඇති බව අනාවරණය වේ.
මෙලෙස මුදල් ලබාදීමෙන් පසුව ද ගැටලුව අවසන් නොකර, අදාළ යතුරුපැදිය රැගෙන කඩුවෙල පොලිසිය ආසන්නයට පැමිණෙන ලෙස සැකකරු විසින් දුරකථනයෙන් දැනුම් දී තිබේ. කප්පම් මුදල් ලබා දුන්නද මෙම තර්ජනය දිගින් දිගටම සිදුවන බව වටහාගත් තරුණයාගේ පියා විසින් තමා දන්නා හඳුනන වෙනත් පොලිස් නිලධාරියෙකු වෙත මේ පිළිබඳව දැනුම් දීමෙන් පසුව අදාළ පැමිණිල්ල සිදු කර ඇත.

