sri-lankas-economy-has-reached-a-stable-level---imf-representatives-praise-the-president

අතීතයේ පැවති අර්බුදකාරී තත්ත්වයෙන් මිදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය මේ වන විට දැඩි ඔරොත්තු දීමේ හැකියාවකින් යුත් ස්ථාවර මට්ටමකට පැමිණ ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියෝජිතයෝ පෙන්වා දෙති. ඊයේ (02) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ පැවති විශේෂ සාකච්ඡාවකදී ඔවුන් මේ බව සඳහන් කළහ.

විශේෂයෙන්ම විදේශ සංචිත තර කර ගැනීම, රාජ්‍ය ආදායම් විධිමත්ව කළමනාකරණය කිරීම සහ අපේක්ෂිත ආර්ථික වර්ධන ඉලක්ක කරා සාර්ථකව ළඟා වීම යන කරුණු මත මෙම ආර්ථික ස්ථාවරත්වය ගොඩනැගී ඇති බව පෙන්වා දුන් එම නියෝජිත පිරිස, වත්මන් රජයේ පාලනය යටතේ අත්පත් කරගෙන ඇති මෙම ආර්ථික ප්‍රගතිය සම්බන්ධයෙන් සිය දැඩි ඇගයීම පළ කළහ.




මෙම නිල හමුවේ ප්‍රධාන අරමුණ වූයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම් (EFF) වැඩසටහන යටතේ ශ්‍රී ලංකාව මේ වන විට ක්‍රියාත්මක කරමින් පවතින ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ ප්‍රගතිය සමාලෝචනය කිරීමයි. ඒ අනුව, අදාළ වැඩසටහනේ පස්වන සහ හයවන සමාලෝචනවල වත්මන් තත්ත්වය පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කෙරිණි. මීට අමතරව මෑත කාලීනව රට තුළ සිදුවූ ආර්ථික වර්ධනයන් සහ මේ දක්වා ලබා ඇති සාර්ථකත්වයන් පිළිබඳවද ජනාධිපතිවරයා සහ නියෝජිත පිරිස අතර අදහස් හුවමාරු විය.

දැනට අත්පත් කරගෙන ඇති ආර්ථික ස්ථායිතාව ඒ ආකාරයෙන්ම සුරක්ෂිත කරමින්, මූල්‍ය අරමුදලේ වැඩසටහන සමඟ ඉදිරි කටයුතු සැලසුම් කළ යුතු ආකාරය කෙරෙහි ද මෙහිදී අවධානය යොමු කෙරිණි. මැදපෙරදිග කලාපය තුළ උද්ගතව ඇති යුදමය වාතාවරණය හේතුවෙන් ගෝලීය වශයෙන් මතුව ඇති අභියෝග පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට බඳුන් විය. එම තත්ත්වය මත මෙරට ඉන්ධන මිල ගණන් සහ බලශක්ති සැපයුම් ජාලය වෙත එල්ල විය හැකි බලපෑම් නිසි ලෙස කළමනාකරණය කිරීම සඳහා රජය මේ වන විටත් විධිමත් වැඩපිළිවෙළක් දියත් කර ඇති බව ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නේය. එමෙන්ම, මෙවැනි බාහිර අර්බුද හමුවේ වුවද සාමාන්‍ය ජනතාවට මුහුණ දීමට සිදුවන දුෂ්කරතා සහ පීඩාවන් අවම කිරීම උදෙසා ගත හැකි සියලුම පියවර ගන්නා බව හෙතෙම අවධාරණය කළේය.




ගෝලීය මට්ටමින් එල්ල වන මෙවන් බාහිර අභියෝගාත්මක තත්ත්වයන් හමුවේ වුවද, දැනට අත්කරගෙන ඇති ආර්ථික වර්ධනය කඩා වැටීමට නොදී ජන ජීවිතය මෙන්ම ජාතික ආර්ථිකය ද මනාව කළමනාකරණය කරමින් රජය ගෙන යන වැඩපිළිවෙළ මූල්‍ය අරමුදල් නියෝජිතයන්ගේ විශේෂ ප්‍රසාදයට හේතු විය. මෙම තීරණාත්මක සාකච්ඡාව සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නියෝජනය කරමින් එහි ශ්‍රී ලංකා මෙහෙයුම් ප්‍රධානී එවන් පැපජෝර්ජියෝ මහතා ප්‍රමුඛ නියෝජිත පිරිසක් එක්ව සිටියහ. ශ්‍රී ලංකා රජය පාර්ශ්වයෙන් කම්කරු අමාත්‍ය මෙන්ම මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ යන මහත්වරුන් ඇතුළු රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් ද මීට සහභාගී වූහ.

sri-lankas-economy-has-reached-a-stable-level---imf-representatives-praise-the-president

sri-lankas-economy-has-reached-a-stable-level---imf-representatives-praise-the-president

sri-lankas-economy-has-reached-a-stable-level---imf-representatives-praise-the-president