whatsapp-organizer-amitha-hamuduruvo-exposes-thailand-smuggling

තායිලන්තයේ සංචාරයක් නිම කර යළි දිවයිනට පැමිණෙමින් සිටි බෞද්ධ භික්ෂූන් වහන්සේලා ලෙස පෙනී සිටි පුද්ගලයින් විසි දෙදෙනෙකු රුපියල් කෝටි එකසිය දහයකට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් සමග කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. අප්‍රේල් 25 වන දින රාත්‍රී දහයට පමණ මොවුන් දිවයිනට පැමිණ ඇති අතර, මෙය කටුනායක ගුවන් තොටුපළ ඉතිහාසයේ වාර්තා වූ විශාලතම මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම මෙන්ම චීවරධාරීන් පිරිසක් මත්ද්‍රව්‍ය සමග හසුවූ ප්‍රථම අවස්ථාව ලෙසද සැලකෙයි.




අදාළ සැකකරුවන් සතුව තිබූ එකම වර්ගයේ විවිධ වර්ණ ගැන්වූ ගමන් මලුවල ව්‍යාජ පතුල් සකසා මෙම මත්ද්‍රව්‍ය සඟවා තිබී ඇත. බුද්ධි තොරතුරකට අනුව සිදු කළ පරීක්ෂාවේදී අධ්‍යාපනික උපකරණ, රසකැවිලි සහ ආහාර ද්‍රව්‍ය අතර සූක්ෂම ලෙස සඟවා තිබූ කිලෝග්‍රෑම් 112ක බරින් යුත් 'කුෂ්' සහ 'හෑෂ්' නැමැති මත්ද්‍රව්‍ය තොගය සොයාගැනීමට නිලධාරීන්ට හැකි වී තිබෙන අතර, එක් අයෙකුගේ ගමන් මල්ලක කිලෝග්‍රෑම් පහක පමණ මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් අඩංගු වී ඇති බව පොලීසිය සඳහන් කරයි.

මෙම ජාවාරම මෙහෙයවා ඇත්තේ කඩවත සහ අඟුණකොළපැලැස්ස ප්‍රදේශවලට සම්බන්ධ අමිත නැමැති ප්‍රධාන චීවරධාරියෙකු විසින් වන අතර, ඔහු ගම්පහ මීගහවත්ත ප්‍රදේශයේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ෆේස්බුක් සහ වට්ස්ඇප් වැනි සමාජ මාධ්‍ය ජාලා හරහා විශ්වවිද්‍යාල සහ විවිධ ආයතනවල උසස් අධ්‍යාපනය ලබන වයස අවුරුදු තිහට අඩු තරුණ භික්ෂූන් වහන්සේලා විසි එක් නමක් සහ පිරිවෙන් ආචාර්යවරයෙකු මෙම ගමන සඳහා සම්බන්ධ කරගෙන තිබේ.




පසුගිය අප්‍රේල් 22 වන දින මොවුන් තායිලන්තය බලා පිටත්ව ගොස් ඇත්තේ ගුවන් ප්‍රවේශපත්, නවාතැන් සහ ආහාරපාන සියල්ලම නොමිලේ ලබා දෙන අනුග්‍රාහකත්වයක් යටතේය. එහිදී පාසල් දරුවන්ට අවශ්‍ය උපකරණ අඩංගු ගමන් මලු කිහිපයක් යළි ලංකාවට රැගෙන එන ලෙස සංවිධායකයින් විසින් ඔවුන්ට දැනුම් දී ඇති අතර, තායිලන්තයේ ගත කළ කාලය තුළ මෙම පිරිස ගිහි ඇඳුම්වලින් සැරසී විවිධ ක්‍රියාකාරකම්වල නිරත වූ අයුරු දැක්වෙන ඡායාරූප සහ වීඩියෝ දර්ශන ඔවුන්ගේ ජංගම දුරකථනවල තිබී විමර්ශකයින් විසින් සොයාගෙන ඇත.

මෙම සංවිධානාත්මක කණ්ඩායම පසුගිය මාසයේදී ද භික්ෂූන් දොළොස් නමක් තායිලන්තයට රැගෙන ගොස් ඇති බවත්, ඉදිරි මාසයේදී තවත් පිරිසක් රැගෙන යාමට සැලසුම් කර තිබූ බවත් පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ. අත්අඩංගුවට පත් වූ සැකකාර චීවරධාරීන් විසි දෙදෙනා අප්‍රේල් 26 වන දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, ඔවුන්ව දින හතක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අතිරේක මහේස්ත්‍රාත් සුභානි අබේසේකර මහත්මිය නියෝග කළාය.



මේ අතර, බුද්ධ චීවරයට මුවා වී මෙවැනි සංවිධානාත්මක මත්ද්‍රව්‍ය ජාවාරමක නිරත වීම ශ්‍රී ලාංකේය භික්ෂු සමාජය ලෝකය ඉදිරියේ දැඩි අපකීර්තියකට පත් කිරීමක් බව පවසමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන් වහන්සේලා විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. මෙම නීති විරෝධී සහ ශාසන විරෝධී ක්‍රියාව තරයේ හෙළා දකින බවත්, මීට සම්බන්ධ සියලුම භික්ෂු ප්‍රතිරූපකයින්ට නීතියෙන් නිසි දඬුවම් ලබා දිය යුතු මෙන්ම ඔවුන්ව ශාසනයෙන් නෙරපා හැරීමට කටයුතු කරන බවත් උන්වහන්සේලා එම නිවේදනය හරහා වැඩිදුරටත් අවධාරණය කර ඇත.



gossiplanka collage