පසුගිය 24 වැනිදා ධාවනය වෙමින් තිබියදී පීලි පැනීමට ලක්වූ ‘සාගරිකා’ ශීඝ්‍රගාමී දුම්රියේ සේවය කළ කාර්ය මණ්ඩලයේ සිව්දෙනෙකුගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
මෙලෙස සේවය අත්හිටුවා ඇති පිරිස අතර එම දුම්රියේ ප්‍රධාන රියදුරු, සහාය රියදුරු, ප්‍රධාන නියාමක සහ සහාය නියාමක යන නිලධාරීන් වන බව එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග තහවුරු කරයි.
බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ සිට මරදාන දක්වා ධාවනය වෙමින් තිබූ 'සාගරිකා' සීඝ්‍රගාමී කාර්යාල සේවා දුම්රිය 24 දින උදෑසන වාද්දුව ප්‍රදේශයේදී හදිසි පීලි පැනීමකට ලක්විය. මෙම අනතුර සිදුවන අවස්ථාවේදී දුම්රියේ ප්‍රධාන එන්ජිම සහ මගී මැදිරි එකිනෙකින් වෙන් වී ගොස් ඇති අතර, ඒ හේතුවෙන් එහි ගමන් ගත් මගීන් රැසකට තුවාල සිදු වී ඇත.
සිද්ධියෙන් අනතුරට ලක්වූ මගීන් කිහිපදෙනෙකු කඩිනමින් ප්‍රතිකාර සඳහා රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබුණි.
අදාළ දුම්රිය පීලි පැනීමට හේතුව සහ එම අවස්ථාවේදී සේවයේ නිරතව සිටි නිලධාරීන් අතින් කිසියම් නොසලකා හැරීමක් සිදුව ඇත්ද යන්න පිළිබඳව සිදුකළ මූලික විමර්ශනවලින් අනතුරුව මෙම විනය පියවර ගෙන ඇත.
දුම්රිය බලධාරීන් පවසන්නේ සිද්ධිය සම්බන්ධයෙන් පවත්වනු ලබන වැඩිදුර පරීක්ෂණ අවසන් වන තෙක් අදාළ නිලධාරීන් සිව්දෙනාට මෙලෙස සේවය තහනම් කර ඇති බවයි.

