a-handbag-made-from-dinosaur-skin

අවුරුදු මිලියන ගණනකට පෙර මිහිතලයේ රජකම් කළ දැවැන්තම සත්ත්වයාගේ සමෙන් නිපදවූ අත්බෑගයක් ඔබේ උරහිසේ රඳවා ගැනීමට ඔබ කවදා හෝ සිහින මැව්වාද?




ඒ අරුම පුදුම සිහිනය දැන් සැබෑවක් වී හමාරය. පසුගියදා නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් නුවර 'Art Zoo' කෞතුකාගාරයේදී ලොව ප්‍රථම වරට ප්‍රදර්ශනයට තැබුණු මේ අපූරු අත්බෑගය නිපදවා ඇත්තේ රසායනාගාරයක් තුළ කෘත්‍රිමව වගා කරන ලද ටිරනෝසෝරස් රෙක්ස් (T. rex) හෙවත් ටී-රෙක්ස් ඩයිනෝසරයාගේ කොලජන් කොටස්වලිනි. දීප්තිමත් තද නිල් පැහැයකින් යුතු මේ අත්බෑගය හුදෙක් විලාසිතාවක් පමණක් නොව, පාෂාණිභූත විද්‍යාව, කෘත්‍රිම ජීව විද්‍යාව සහ අති සුඛෝපභෝගී විලාසිතා නිර්මාණකරණයේ අපූර්ව සුසංයෝගයක් ලොවට විදහා දක්වයි.

මේ විශ්මිත නිර්මාණය පිටුපස සිටින්නේ VML නිර්මාණාත්මක ආයතනය, 'The Organoid Company' නම් ජාන ඉංජිනේරු සමාගම සහ 'Lab-Grown Leather Ltd' යන ජෛව තාක්ෂණික ආයතනයයි. ඇමරිකාවෙන් සොයාගත්, වසර මිලියන 66කට වඩා පැරණි ටී-රෙක්ස් පොසිලවලින් ලබාගත් කොලජන් ප්‍රෝටීන කොටස් උපයෝගී කරගනිමින් ඔවුන් මේ ගමන ආරම්භ කළහ. කාලයත් සමඟ විනාශ වී ගිය එම ජානමය හිඩැස් පිරවීම සඳහා කෘත්‍රිම බුද්ධිය සහ දියුණු පරිගණක තාක්ෂණය යොදාගැනුණු අතර, අනතුරුව එම සම්පූර්ණ කරන ලද ජාන සැකිල්ල වෙනත් සත්ත්ව සෛලයක් තුළට ඇතුළු කර, රසායනාගාරයක් තුළ බිලියන ගණනින් ගුණනය වීමට සලස්වා මෙම සුවිශේෂී සම් වර්ගය නිර්මාණය කර ඇත.




"ටී-රෙක්ස් කෙනෙකුට සමාන දෙයක් නිර්මාණය කිරීමට මිනිසෙකුට ළඟා විය හැකි ආසන්නතම අවස්ථාව මෙයයි," යනුවෙන් 'The Organoid Company' හි ප්‍රධාන විධායක නිලධාරී තෝමස් මිචෙල් පවසයි. පෝලන්ත ජාතික මෝස්තර නිර්මාණකරුවෙකු වන මයිකල් හදාස්ගේ 'Enfin Levé' සන්නාමය යටතේ නිමවා ඇති මෙම අත්බෑගය, ඩයිනෝසරයෙකුගේ නියපොතු පහරවල් සිහිගන්වන සීරීම් සලකුණු සහ නවීන හැඩතලවලින් යුක්තය. ඇම්ස්ටර්ඩෑම් කෞතුකාගාරයේ අතිවිශාල ටී-රෙක්ස් ඇටසැකිල්ලක් යටතේ වීදුරු කුටියක දැනට ප්‍රදර්ශනයට තබා ඇති මෙය, මැයි 11 වැනිදායින් පසු ඩොලර් ලක්ෂ පහකට (ඩොලර් 500,000) අධික මූලික ලංසුවක් යටතේ වෙන්දේසි කිරීමට නියමිතය. සතුන් ඝාතනය නොවන, පරිසරය විනාශ නොකරන මෙවැනි විකල්ප අනාගත සුඛෝපභෝගී විලාසිතා ලෝකයේ ප්‍රමිතිය බවට පත්වනු ඇතැයි නිර්මාණකරුවන් විශ්වාස කරයි.

එහෙත්, මෙම පෙරළිකාර නිපැයුම පිළිබඳව විද්‍යාත්මක ලෝකය තුළ ඇත්තේ දෙගිඩියාවකි. මෙලනි ඩියුරින් සහ තෝමස් ආර්. හෝල්ට්ස් වැනි ප්‍රකට පාෂාණිභූත විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ, අස්ථිවලින් ලබාගන්නා කොලජන් යනු සැබෑ සත්ත්ව සමක් නොවන බවයි. එමෙන්ම වෙනත් සත්ත්ව සෛලයක් මත මෙම ජාන වර්ධනය කර ඇති බැවින්, මෙය සියයට සියයක්ම "ටී-රෙක්ස් සමක්" ලෙස හැඳින්වීම විවාදයට තුඩු දෙන කරුණක් බව ඔවුන්ගේ මතයයි. කෙසේ වෙතත්, නිර්මාණකරුවන් මෙම විවේචන දකින්නේ අනාගත තාක්ෂණික දියුණුවට අත්‍යවශ්‍ය කතිකාවතක් ලෙසිනි.



වසර මිලියන හැට හයකට පෙර වඳවී ගිය යෝධයෙකුගේ අංශුමාත්‍රයක් හෝ අද දවසේ අති සුඛෝපභෝගී විලාසිතාවක් ලෙස අප ඉදිරියට ගෙන ඒමට තරම් තාක්ෂණය බලවත් වී තිබේ නම්, හෙට දිනයේ අනාගත ලෝකය මින් පෙර කිසිදිනෙක නොදුටු කුමන මායාවක් අපට පෙන්වනු ඇත්දැයි සිතීම පවා විස්මයජනකය.

a-handbag-made-from-dinosaur-skin

a-handbag-made-from-dinosaur-skin

a-handbag-made-from-dinosaur-skin