නැගෙනහිර විශ්වවිද්‍යාලයේ හිටපු කුලපති මහාචාර්ය රවින්ද්‍රනාත් සුබ්‍රමනියම් මහතාගේ අතුරුදන්වීමේ සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් 'පිල්ලෙයාන්' නීතිපතිවරයාගේ උපදෙස් ලැබෙන තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ගල්කිස්ස මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා විසින් නියෝග කර තිබේ. වර්ෂ 2006 දී සිදුවූ බව කියන මෙම අතුරුදන්වීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ නියමයෙන් සිදුකරන පරීක්ෂණවලට අදාළව මේ වන විට සැකකරුවන් පස්දෙනෙකු අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර, ඊයේ (02) දින වැඩිදුර වාර්තාවක් මගින් පිල්ලෙයාන් මෙම නඩුවේ පළමු සැකකරු ලෙස නම් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගත්තේය.
දින 359කට ආසන්න කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවුම් නියෝග යටතේ රඳවාගෙන සිටි සැකකාර පිල්ලෙයාන් වෙනුවෙන් නීතිඥ උදය ගම්මන්පිල මහතා පෙනී සිටි අතර, එහිදී සැකකරු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අධිකරණයට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ඔහු සිය විරෝධය පළ කළේය. කෙසේ වෙතත්, මෙම දීර්ඝ කාලීන රඳවා තබා ගැනීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ හිටපු කුලපතිවරයා කොළඹදී සුදු වෑන් රථයකින් පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන විමර්ශන කටයුතුය.
අදාළ පරීක්ෂණවලදී අනාවරණය වී ඇති තොරතුරු අනුව, මෙම පැහැරගැනීමෙන් පසු මඩකලපුව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය වධකාගාරයක් වෙත රැගෙන ගොස් මෙම ඝාතනය සිදුකර තිබේ. එම වකවානුව තුළ පොලිස් නිලධාරියෙකු ද ඇතුළුව පුද්ගලයන් පස් දෙනෙකු පමණ මොවුන් අතින් ඝාතනයට ලක්ව ඇති බවට තොරතුරු හෙළිවී ඇති අතර, නීති විරෝධී සුදු වෑන් සංස්කෘතියේ එක් කොටසක් පිල්ලෙයාන් විසින් මෙහෙයවා ඇති බව සාක්ෂි මගින් මේ වන විට තහවුරු වී ඇති බව වාර්තා වේ.
මීට අමතරව, එල්.ටී.ටී.ඊ සංවිධානයෙන් වෙන්වී රජයට එක්වූ කරුණා අම්මාන් සහ පිල්ලෙයාන් ඇතුළු කණ්ඩායමට ත්‍රස්ත විරෝධී මෙහෙයුම් සඳහා රජය සහ ආරක්ෂක අංශ හරහා ලබාදුන් විශාල ගිනි අවි තොගයක් සම්බන්ධයෙන් ද පරීක්ෂණ ක්‍රියාත්මකයි. ටී-56, පිස්තෝල, ආර්.එම්.ජී, එල්.එම්.ජී, මෝටාර් සහ මිලිමීටර් 9 වර්ගයේ ගිනි අවි ඇතුළුව අටදහසක පමණ පිරිසකට නිකුත් කළ මෙම ආයුධවලින් යුද්ධය අවසන් වීමෙන් පසු භාරදී ඇත්තේ සීමිත ප්‍රමාණයක් පමණි. මෙලෙස අතුරුදන් වූ විශාල ගිනි අවි ප්‍රමාණය පාතාල ක්‍රියාකාරකම් සහ විවිධ ඝාතන සඳහා යොදාගන්නට ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැක පළ කරන අතර, එම ආයුධම යොදාගෙන පිල්ලෙයාන් ඇතුළු පිරිස සිය පෞද්ගලික වෛරක්කාරයන් පැහැරගැනීමට හා ඝාතනය කිරීමට කටයුතු කර ඇති බවට ද තොරතුරු හෙළිවෙමින් පවතී.
මේ අතර, පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සහ එහි ප්‍රධානියා වූ සහරාන් හමුවීම සම්බන්ධයෙන් ද පිල්ලෙයාන් විසින් මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ අපරාධ නඩු විධාන සංග්‍රහයේ 127 වැනි වගන්තිය යටතේ රහසිගත ප්‍රකාශයක් ලබා දී තිබේ. කිසිදු බලපෑමකින් තොරව ලබාදෙන මෙම බලවත් ප්‍රකාශය මත පදනම්ව මේ වන විට සාලිය නමැත්තෙකුගෙන් ද ප්‍රකාශ සටහන් කරගනිමින් පරීක්ෂණ ඉදිරියට ගෙන යන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි. සාලිය වෙනුවෙන් ද පෙනී සිටින්නේ පිල්ලෙයාන්ගේ නීතිඥවරයා වන උදය ගම්මන්පිල මහතා වීම විශේෂත්වයකි.
මෙම නීතිමය ක්‍රියාවලිය හා සමගාමීව දේශපාලන කරළියේ ද විවිධ අදහස් මතු වෙමින් පවතී. පාස්කු ප්‍රහාරයට අදාළව මෛත්‍රීපාල සිරිසේන මහතා තවමත් ඒ පිළිබඳව නිසි අධ්‍යයනයක් කර නොමැති බවට අදහස් පළ වී ඇති අතර, නවීන් දිසානායක සහ නලින් ප්‍රනාන්දු වැනි අයගේ ප්‍රකාශ හරහා සජිත් ප්‍රේමදාස මහතා රාජපක්ෂවරුන් සමඟ කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් ද දේශපාලන විවේචන එල්ල වී ඇත. එසේම, පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු ලෙස 'සොනික් සොනික්' යන නාමයක් භාවිතා කරමින් මනුෂ නානායක්කාර සහ හරීන් ප්‍රනාන්දු යොදාගෙන අතීතයේ විශාල ප්‍රචාරයක් ගෙන ගිය සජිත් ප්‍රේමදාස මහතාගේ වර්තමාන දේශපාලන හැසිරීම සහ ප්‍රතිපත්ති පිළිබඳව ද චෝදනා නැඟේ. ඊට සාපේක්ෂව උදය ගම්මන්පිල සහ විමල් වීරවංශ වැනි දේශපාලනඥයන් තමන් නියෝජනය කරන පාර්ශ්වයන් වෙනුවෙන් සිය ප්‍රතිපත්ති මත පිහිටා අඛණ්ඩව පෙනී සිටින බව විචාරක අදහස වී තිබේ. කෙසේ වෙතත්, අප්‍රේල් 04 වනදායින් පිල්ලෙයාන්ගේ වර්තමාන රඳවුම් කාලය අවසන් වීමට නියමිත අතර, පිල්ලෙයාන් නීතිපති උපදෙස් ලැඛෙනතුරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට ගල්කිස්ස මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඊයේ (2) නියෝග කළේය.
ඉදිරියේදී අතුරුදන් වූ ගිනි අවි පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් සහ ගණන් හිලව් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

