620-crore-drug-brought-from-the-sea-is-seized

ශ්‍රී ලංකාවට නිරිතදිගින් පිහිටි ගැඹුරු මුහුදු තීරයේදී සිදුකළ විශේෂ ඒකාබද්ධ මෙහෙයුමකින් රුපියල් කෝටි 620ක පමණ දළ වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝග්‍රෑම් 323ක ප්‍රමාණයක් සමඟ පුද්ගලයින් හයදෙනෙකු අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ සමත්ව තිබේ. ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව මෙම මෙහෙයුම දියත් කර ඇති අතර, එහිදී "ආවේ මරියා" නමැති බහුදින ධීවර යාත්‍රාවක් මඟින් අදාළ මත්ද්‍රව්‍ය තොගය ප්‍රවාහනය කරමින් තිබියදී මෙලෙස නාවික හමුදා භාරයට ගෙන ඇත.




නාවික හමුදා භාරයට ගත් අදාළ ධීවර යාත්‍රාව ඊයේ (01) උදෑසන පරීක්ෂා කිරීම සඳහා දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙන ආ බව නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ මහතා සඳහන් කළේය. එහි සිදුකළ සෝදිසි කිරීම්වලදී උර 19ක ඉතා සූක්ෂම ලෙස අසුරන ලද මත්ද්‍රව්‍ය පැකට් 298ක් සොයාගෙන ඇති අතර, ඊට අමතරව එම යාත්‍රාවේ තිබී චන්ද්‍රිකා තාක්ෂණයෙන් ක්‍රියාත්මක වන දුරකථනයක් ද පොලීසිය විසින් සිය භාරයට ගෙන තිබේ. විමර්ශනවලින් හෙළි වී ඇති ආකාරයට මෙම මත්ද්‍රව්‍ය තොගය ඉරාන ජාතික යාත්‍රාවක් මඟින් රැගෙන විත් නිරිතදිග මුහුදේදී අදාළ දේශීය බහුදින යාත්‍රාවට මාරු කර ඇත.

මෙම දැවැන්ත මත්ද්‍රව්‍ය ජාවාරම පිටුපස සිටින්නේ ඩුබායි රාජ්‍යයේ රැඳී සිටින 'දිසානායක' නමැති මත්කුඩු ජාවාරම්කරුවෙකු බවට මේ වන විට තොරතුරු අනාවරණය වී තිබේ. පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා ප්‍රකාශ කරන පරිදි, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් දිගු කලක් තිස්සේ අදාළ පුද්ගලයා සම්බන්ධයෙන් සිදුකළ බුද්ධි නිරීක්ෂණවලින් අනතුරුව නාවික හමුදාවට ලබාදුන් නිශ්චිත තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇති අතර, ඔහුට අයත් මෙතරම් විශාල මත්ද්‍රව්‍ය තොගයක් ආරක්ෂක අංශ භාරයට ගත් ප්‍රථම අවස්ථාව ද මෙය වෙයි. ඩුබායිහි සිටින ප්‍රධාන ජාවාරම්කරු විසින් වෙන්නප්පුව ප්‍රදේශයෙන් මෙම යාත්‍රාව මිලදී ගෙන ජාවාරම මෙහෙයවූ පුද්ගලයාට ලබාදී ඇති බවට පොලීසිය සැක කරන අතර, යාත්‍රාවේ නීත්‍යානුකූල හිමිකරු මේ වන විටත් ප්‍රදේශයෙන් පළාගොස් තිබේ.




පෙබරවාරි මස 03 වැනිදා පුද්ගලයින් පස්දෙනෙකු සමඟ හලාවත වෙල්ලමන්කඩින් මුහුදු ගොස් ඇති මෙම යාත්‍රාවට, පසුව කල්පිටිය ධීවර වරායෙන් මෙම ජාවාරම මෙහෙයවූ බවට සැකකෙරෙන පුද්ගලයා ගොඩවී ඇති බව විමර්ශන නිලධාරීන් විසින් තහවුරු කරගෙන ඇත. අත්අඩංගුවට පත්වූ සැකකරුවන් මීගමුව, හලාවත සහ කල්පිටිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර, යාත්‍රාවේ ස්කීපර්වරයා ලෙස කටයුතු කළ පුද්ගලයා මීට පෙර 2024 ජූලි මස 06 වැනිදා ගාල්ලට ඔබ්බෙන් වූ දකුණු මුහුදේ නීතිවිරෝධී ලෙස මුහුදු සර්පයින් ප්‍රවාහනය කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට පත්වූ අයෙකු වීම ද විශේෂත්වයකි.

මෙම වසර ආරම්භයේ සිට මේ දක්වා කාලය තුළ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබියදී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත් 09 වැනි යාත්‍රාව මෙය ලෙස වාර්තා වේ. ආරක්ෂක අංශ භාරයට ගත් මෙම මත්ද්‍රව්‍ය තොගය නිරීක්ෂණය කිරීමේ අවස්ථාව සඳහා නාවික හමුදාපති අද්මිරාල් කාංචන බානගොඩ, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේන යන මහත්වරුන් ඇතුළු නාවික හා පොලිස් ප්‍රධානීන් පිරිසක් ද එක්ව සිටියහ.

620-crore-drug-brought-from-the-sea-is-seized