“ මට සිහිය ආවම අහස එකපාරම දැක්කා. මට හිතුණේ ගෙදර ඇඳේ නිදාගෙන ඉන්නව කියල.
වතුරෙන් මාව තෙමිල. ගංවතුර ආවා කියල ඒත් එක්කම දැනුනා. මම එකපාරම වතුර යටට ගියා. උඩ ඇවිත් දෙවෙනි පාරත් වතුර යටට ගියා. තුන්වෙනි පාරත් වතුර යටට ගියා. ඒ පාර උඩට ආපුවාම මගේ අතට මොකක්ද අහුවුණා. මම ඒක අල්ල ගත්තා. මම හයියෙන් කෑගහලා මහත්තයට කතා කළා. ඔයා කොහේද ඉන්නේ කියලා. මාළු අල්ලන්න ගියාද කියලා ඇහුවා. දරුවට කතා කළා කවුරුවත් කතා කළේ නැහැ.”රන් භාණ්ඩ කොල්ලකෑමට සංවිධානාත්මක පිරිසක් විසින් පැහැරගෙන ගොස් සිහිසුන් කර මඩකළපුව කොක්අඩිචොලේ නෙල්ලිකාඩු හී පිහිටි ළිඳක දමා තිබියදී ජීවිතය බේරාගත් වවුනතිව් ප්‍රදේශයේ පදිංචි මුර්ගමුර්ති රනිච්චා ඇයට වූ අපරාධය ගැන හඬ අවදි කළේ එසේය.
ඇය මාධ්‍යකට මේ බව කියන්නේ පළමු වරටය.
කෑගසමින් ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වෙමින් සිටි ඇයව බේරාගන්නේ පසුගිය මාර්තු 20 වෙනිදාය. ළිඳෙන් ගොඩ ගෙන මඩකළපුව ශික්ෂණ රෝහලට ඇතුළත් කළ ඇය දැඩි සත්කාර ඒකකයේ දින ගණනාවක්ම ප්‍රතිකාර ලබමින් සිටියාය.
“මාර්තු 19 වෙනිදා උදේ මම දුවත් එක්ක වවුනතිව් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගියා. එහිදී බැංකු පොත් එම සමෘද්ධි බැංකුවට භාරදීමෙන් අනතුරුව මඩකළපුව නගරයට යෑමේ අදහසින් දරුවා සමඟ වවුනතිව් හන්දියේ හිටියා බස් රථයක් එනකන්.” ඇය ඒ සිදුවීම මතකයට නැඟුවාය.
“ටික වේලාවක් යනකොට ත්‍රීවීල් රථයක් ඇවිත් මඩකළපුවට යනවද” කියලා ඒකේ හිටපු ගෑනු කෙනෙක් ඇහුවා. මම කිව්වා “ත්‍රීවීල් එකේ යන්න සල්ලි නැහැ” කියලා. වැඩිය සල්ලි එපා රුපියල් 100ක් දෙන්න කිව්වා. පස්සේ මම ත්‍රිවීල් එකට නැග්ගා. එතැන හිටපු තව කාන්තාවක් ද ත්‍රීවීල් එකට ගොඩ වුණා.“ඇයව පැහැර ගැනීමේ සැලසුම සිදුවන්නේ ඒ ආකාරයටය.
“එම කාන්තාව රෝහල හන්දියෙන් බැහැල ගියා. මම කිව්වා සත්තාර්ගේ කඩේට යන පාරින් මාව බස්සන්න කියලා. එතකොට ත්‍රීවීල් එකේ ආපු ගෑනු කෙනා කිව්වා “මම සාරියක් ගන්න යන්නේ” කියලා. “මමත් දැන් ආපහු යනවා.” මාත් එක්කම යන්න පුළුවන්” කියලා කිව්වා. මම කිව්වා “හා” කියලා. පස්සේ මම සත්තාර්ගේ කඩේට ගිහින් මම උකස් කළ මුද්ද රුපියල් 25,000ක් දීලා බේරා ගත්තා. පස්සේ මම අර කාන්තාව ඉන්නවා කියන සාරි කඩයට ගියා, ඒ වීල් එකේම ආපහු ගෙදර යන්න හිතාගෙන.“ඇයව පැහැර ගැනීම සිදුවන්නේ ඉන් අනතුරුවය.
“මම එතැනට ගියාම පස්සේ ඒ කාන්තාව ත්‍රීවීල් එකට කතා කළා. අපි ත්‍රීවීල් එකේ නැඟලා ගමට යන්න පිටත් වුණා . ත්‍රීවීල් රථයේ රියැදුරු ටවුමෙදි ත්‍රීවීල් එක නවත්තලා බැහැල ගිහින් විනාඩි 10කින් පසුව ඇවිත් වවුනතිව් යන්න පිටත් වුණා.
අපි පාලම උඩින් යනකොට ත්‍රීවීල් එකේ හිටපු කාන්තාව එයාගේ බෑග් එක ඇරලා බීම බොතල් තුනක් ගත්තා. එකක් මටත් දුන්නා, මම ඒක බිව්වා. වවුනතිව් හන්දියෙන් කාන්තාව ත්‍රීවීල් එකෙන් බැස්සා. එතැනින් තව පිරිමි කෙනෙක් පිහියක් අරගෙන ත්‍රීවීල් එකට නැග්ගා. මම ඇහුවා “ඇයි මේ පිහියක් අරන් ත්‍රීවීල් එකට නඟින්නේ කියලා එතකොට ත්‍රීවීල් රියැදුරු කිව්වා” එයාගේ ගෙදර හරකෙක් බඳින්න ලීයක් කපන්න යනවා” කියලා.
පස්සේ ත්‍රීවීල් එක අපි යන පාරේ යන්නැතුව වෙනින් පාරකට හැරෙව්වා. පාවකොඩිචෙන්නායි පැත්තට තමයි හැරෙව්වේ. මම ඇහුවා “ඇයි මේ පාරට හැරෙව්වේ” කියලා. “නැහැ මේ මල්ලි ගිහින් දාලා ඔයා ගිහින් දානවා” කිව්වා. එතකොට මට ක්ලාන්තයක් වගේ ආවා. ඊට පස්සේ මොනව වුණාද දන්නේ නැහැ.” ඇය පවසන ආකාරයට සිදුව තිබුණේ පැණි බීම බෝතලය පානය කිරීමෙන් අනතුරුව සිහිසුන් වීමකි. පැණි බීම බෝතලයට යම් ඖෂධයක් දමා ඇයව සිහිසුන් කර තිබූ බව පොලිස් විමර්ශනවලින් අනාවරණය විය. ඒ සඳහා ඖෂධ වර්ගයක් මෙම සංවිධානාත්මක කල්ලිය විසින් ලබාගත් ඔසුහලක හිමිකරුවෙක් ද පොලීසිය පසුව අත්අඩංගුවට ගත්තේය.
ඇයට සිහිය එන විට ඇය සිටින්නේ ළිඳක් තුළය. ඇයට සිතෙන්නේ ගංවතුරකට හසුවී ඇති බවය. ඇය සිය සැමියාටත් දරුවන්ටත් කෑගසා අඬගැසුවද තමා ළිඳක සිටින බවක් ඇයට නොදැනුනාය. ඇගේ දිවි බේරෙන්නේ එම කෑගැසීම් හඬ ඇසුණු අයෙක් නිසාය.
“කවුදෝ ඇවිත් කඹයක් මගේ අතට දාලා මාව ඇදලා ගත්තා. එතකොට තමයි මම දන්නේ මම ළිඳක් ඇතුළේ හිටියේ කියලා. පස්සේ මාව රෝහලට අරන් ගියා” ඇය කියන්නීය.
දැනට මෙම සිදුවීම සම්බන්ධයෙන් හත්දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත. හතර දෙනෙකු 02 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. තිදෙනෙක් අධිකරණ නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටින බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
නැඟෙනහිර දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග මත මඩකළපුව කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලලිත් ලීලාරත්න මහතාගේ අධීක්ෂණය යටතේ නැඟෙනහිර පළාත් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පී. මෙනන්, කොක්අඩිචොලේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තුෂාර අබේරත්න, කොක්අඩිචොලේ පොලිස් ස්ථානයේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඊ.වෙනුජන් මහතා ඇතුළු නිලධාරීන් වැඩිදුර පරීක්ෂණ පවත්වති.
අම්පාර -වසන්ත චන්ද්‍රපාල


