ජාත්‍යන්තර ණය පියවීම සඳහා වෙන් කර තිබූ රුපියල් කෝටි 80කට අධික මහා ධනස්කන්ධයක් රාජ්‍ය මූල්‍ය පද්ධතියේ ආරක්ෂක දැල් බිඳදමමින් අද්භූත ලෙස අතුරුදන් වීමේ බරපතළ සයිබර් අපරාධයක් මේ වන විට මුළු රටම කම්පනයට පත් කර තිබේ.
මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයට අයත් විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියට රහසිගතව ඇතුළු වූ අන්තර්ජාතික සයිබර් හැකර්වරුන් පිරිසක් විසින් ඕස්ට්‍රේලියාවට ගෙවීමට නියමිතව තිබූ ඩොලර් ලක්ෂ 25ක ණය වාරිකයක් මෙලෙස තුන්වන පාර්ශ්වයක් වෙත හරවා යවා කොල්ලකා ඇත.
ජනතාවගේ බදු මුදලින් ගෙවීමට තිබූ මෙම දැවැන්ත මුදල අහිමි වීම හමුවේ මේ වන විටත් මහා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරුන් දෙදෙනෙකු, අධ්‍යක්ෂවරුන් දෙදෙනෙකු සහ පරිගණක අංශයේ ප්‍රධානියෙකුගේ වැඩ තහනම් කරමින් දැඩි විනය ක්‍රියාමාර්ග ගැනීමට බලධාරීන් කටයුතු කර තිබේ.
සිද්ධියේ බරපතළකම සලකා බලා මේ පිළිබඳව වහාම සොයා බැලීමට මහා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම්වරුන් වන ඒ. එන්. හපුගල සහ එස්. එස්. මුදලිගේ යන මහත්වරුන්ගේ සම සභාපතිත්වයෙන් යුත් විශේෂ තාක්ෂණික කමිටුවක් පත් කර ඇත. ඊට අමතරව ජාතික සැලසුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් කේ. ටී. අයි. ප්‍රේමරත්න, නීති කටයුතු දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ඒ.කේ.ඩී.ඩී.ඩී. අරන්දර සහ තොරතුරු තාක්ෂණ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ ඊ. ඩී. ශිරන්ත යන මහත්වරුන් ද මෙම විමර්ශන කණ්ඩායමට ඇතුළත් කර තිබේ.
පසුගිය ජනවාරි මාසය තුළදී සිදුවූ මෙම මූල්‍ය විෂමතාව හඳුනාගැනීමෙන් පසු අමාත්‍යාංශය විසින් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (SL-CERT), පොලිස් පරිගණක අපරාධ විමර්ශන අංශය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය වෙත මේ පිළිබඳව නිල වශයෙන් පැමිණිලි කර විමර්ශන කටයුතු පුළුල් කර ඇත.
මේ අතර, ෆ්‍රී ලෝයර්ස් සංවිධානයේ සභාපති ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා කථානායකවරයා වෙත විශේෂ ලිපියක් යොමු කරමින් පෙන්වා දෙන්නේ, 2025 සැප්තෑම්බර් වන විට ගෙවීමට තිබූ ඩොලර් මිලියන 22.9ක ණය මුදලින් කොටසක් ලෙස මෙම ඩොලර් මිලියන 2.5ක මුදල පසුගිය වසරේ දෙසැම්බර් සිට 2026 ජනවාරි 31 දක්වා කාලය තුළ නිකුත් කර ඇති බවයි. එහෙත් එම මුදල් නියමිත ණයහිමියා වෙත නොගොස් වෙනත් අන්තර්ජාල කොල්ලකරුවෙකුගේ ගිණුමකට බැර වී ඇති අයුරු පිළිබඳව පාර්ලිමේන්තුව හරහා කඩිනම් පරීක්ෂණයක් සිදු කළ යුතු බව ඔහු තරයේ අවධාරණය කරයි. අදාළ ජාත්‍යන්තර සම්බන්ධීකරණයන් හරහා ඉදිරි පියවර ගන්නා බව අමාත්‍යාංශය පැවසුවද, රටේ ප්‍රධානතම මූල්‍ය ආයතනය මෙතරම් පහසුවෙන් සයිබර් ප්‍රහාරයකට ගොදුරු වූයේ කෙසේද යන්න පිළිබඳව බරපතළ සැක මතු වී තිබේ.
තාක්ෂණයේ අදෘශ්‍යමාන හිඩැස් අස්සෙන් රිංගා ගිය මෙම කෝටි ගණනක මහජන ධනය, යළිත් මේ රටට ගෙන්වා ගැනීමට හැකි වේද, නැතහොත් එය ශ්‍රී ලංකා ඉතිහාසයේ ලියැවුණු තවත් එක් අඳුරු සයිබර් අභිරහසක් ලෙස පමණක් ඉතිරි වේද යන්න ඉදිරි කාලය විසින් තීරණය කරනු ඇත.


