හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය ශල්‍යකර්මය සඳහා විදෙස්ගත වීමට ප්‍රධානතම හේතුව වූයේ, මින් පෙර එතුමාට ප්‍රතිකාර කළ මෙරට කීර්තිමත් විශේෂඥ වෛද්‍යවරුන්ව රහස් පොලිසිය හමුවට කැඳවා සිදුකළ ආකාරයේ හිරිහැර කිරීම් යළිත් සිදුවනු දැකීමට ඇති අකමැත්ත බව හිටපු අමාත්‍ය මහාචාර්ය ජී. එල්.
පීරිස් මහතා ප්‍රකාශ කළේය. කොළඹ, මල් පාරේ පිහිටි දේශපාලන කාර්යාලයේදී ඉකුත් 21 වැනිදා පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කර සිටියේය.ශ්‍රී ලංකාව තුළ අතිශය දක්ෂ වෛද්‍යවරුන් මෙන්ම දියුණු රෝහල් පහසුකම් ද පවතින බවත්, ආසියාවේ වෙනත් රටවල රෝගීන් පවා මෙරටට පැමිණ ප්‍රතිකාර ලබාගන්නා පසුබිමක හිටපු ජනාධිපතිවරයා සිංගප්පූරුවට යාම පිළිබඳව සමාජයේ යම් කථිකාවක් නිර්මාණය වී ඇති බවත් හෙතෙම පෙන්වා දුන්නේය. ඊට හේතුව පැහැදිලි කළ මහාචාර්යවරයා සඳහන් කළේ, මීට පෙර රනිල් වික්‍රමසිංහ මහතා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන සමයේදී එතුමාගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් වෛද්‍ය සහතික නිකුත් කළ ඉහළම පෙළේ විශේෂඥ වෛද්‍යවරුන් හත්දෙනෙකු රහස් පොලිසියට කැඳවා චූදිතයන් බවට පත් කරනු ලැබූ බවයි. කිසිදු දේශපාලන කටයුත්තකට සම්බන්ධ නොවී සිය වෘත්තීය වගකීම පමණක් ඉටු කළ එම වෛද්‍යවරුන්ට මුහුණදීමට සිදුවූ එවැනි අපහසුතා සහ වෘත්තීය බාධාවන් යළිත් ඇති නොකිරීමේ අරමුණින් රනිල් වික්‍රමසිංහ මහතා මෙම තීරණය ගෙන ඇති බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
අධිකරණය කෙරෙහි පූර්ණ ගෞරවයක් පවතින බැවින් ඒ සම්බන්ධයෙන් ප්‍රකාශ නිකුත් නොකරන බව පැවසූ ජී. එල්. පීරිස් මහතා, නීතිය ක්‍රියාත්මක කිරීමේදී නීතිපතිවරයා සම්පූර්ණයෙන්ම ස්වාධීන නිලධාරියෙකු ලෙස කටයුතු කළ යුතු බව සිහිපත් කළේය. අපරාධ නඩුවක් පැවරීම කිසිසේත්ම සැහැල්ලුවට ගත හැකි කරුණක් නොවන අතර, ඒ සඳහා ප්‍රමාණවත් සාක්ෂි පවතීද යන්න තීරණය කිරීමේ තනි බලය ඇත්තේ නීතිපතිවරයාට පමණක් බැවින් ඊට කිසිදු ආකාරයක දේශපාලන හෝ වෙනත් බලපෑමක් එල්ල නොවිය යුතු බව එතුමා ප්‍රකාශ කළේය. එවැනි බලපෑම් සිදුවන බවට ජනතාව තුළ සුළු හෝ සැකයක් නිර්මාණය වීම සමස්ත අධිකරණ පද්ධතියටම දැඩි ලෙස අහිතකර වනු ඇති බවද හෙතෙම පෙන්වා දුන්නේය.
උග්‍ර අපරාධ සම්බන්ධයෙන් මහාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙකුගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් ඉදිරියේ නඩු විභාග කිරීමේ සුවිශේෂී ක්‍රියාපටිපාටියක් පවතින නමුත්, ඒ පිළිබඳව තීරණය කිරීමේ පරම අභිමතය ඇත්තේ අගවිනිසුරුවරයාට පමණක් බව පීරිස් මහතා අවධාරණය කළේය. රනිල් වික්‍රමසිංහ මහතාගේ නඩුව එලෙස විභාග කරන බවට අගවිනිසුරුවරයා මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති පසුබිමක, වෙනත් පාර්ශ්වයන් ඒ සම්බන්ධයෙන් ප්‍රකාශ නිකුත් කිරීම අගවිනිසුරුවරයාට කරන නිග්‍රහයක් මෙන්ම නීතිය අමු අමුවේ උල්ලංඝනය කිරීමක් ද වන බව ඔහු ප්‍රකාශ කළේය.
මීට අමතරව, රනිල් වික්‍රමසිංහ මහතාගේ විදෙස් ගමන් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට මහා බ්‍රිතාන්‍යයට යැවූ පොලිස් කණ්ඩායම වෙනුවෙන් වැය වූ මහජන මුදල් කොපමණද යන්න පිළිබඳව තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉල්ලීමක් කර ඇති නමුත් ඊට මෙතෙක් ප්‍රතිචාර ලැබී නොමැති බවද මහාචාර්යවරයා අනාවරණය කළේය. චිරාත් කාලයක් තිස්සේ ආරක්ෂා කරගත් නීතිය පසිඳලන ආයතන දියාරු නොකළ යුතු බව අවධාරණය කෙරුණු මෙම මාධ්‍ය හමුව සඳහා ජනාධිපති නීතිඥවරුන් වන උපුල් ජයසූරිය, එස්. ටී. ජයනාග සහ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නදීෂ් ද සිල්වා යන මහත්වරුන් ද සහභාගී වී සිටියහ.

