152-foreigners-engaged-in-internet-trafficking-were-arrested

නීතිවිරෝධී ලෙස මෙරට රැඳී සිටිමින් අන්තර්ජාලය ඔස්සේ මහා පරිමාණ මූල්‍ය වංචාවල නිරත වූ විදේශිකයන් 152 දෙනෙකු හලාවත, අඹකඳවිල ප්‍රදේශයේ පිහිටි සංචාරක හෝටලයක සැඟවී සිටියදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය 02 වැනිදා පස්වරු 5.00 ට පමණ ක්‍රියාත්මක කරන ලද මෙම විශේෂ මෙහෙයුමේදී අත්අඩංගුවට පත් පිරිස අතරට චීන, වියට්නාම සහ මැලේසියානු ජාතිකයින් අයත් වේ.




මෙම සැකකරුවන් කිසිවෙකුටත් ශ්‍රී ලංකාව තුළ රැඳී සිටීම සඳහා වලංගු වීසා බලපත්‍ර නොතිබූ බව විමර්ශන මගින් තහවුරු වී ඇත. අත්අඩංගුවට ගත් සමස්ත පිරිසෙන් 133 දෙනෙකුම චීන ජාතිකයින් වන අතර, ඊට කාන්තාවන් 07 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 126 දෙනෙකු ඇතුළත් ය. ඊට අමතරව වියට්නාම ජාතික කාන්තාවන් තිදෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 10 දෙනෙකු ද, එක් මැලේසියානු ජාතික පිරිමි පුද්ගලයෙකු ද මෙම වැටලීමේදී නීතියේ රැහැනට හසු වී තිබේ.

හලාවත යුද හමුදා බුද්ධි අංශය සහ පොලිස් බුද්ධි අංශය එක්ව සිදු කරන ලද දීර්ඝ නිරීක්ෂණයකින් අනතුරුව හලාවත පොලිසිය විසින් ලබා දුන් තොරතුරු මත, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ ඒකකය සහ කොළඹ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් එක්ව මෙම වැටලීම දියත් කර ඇත. දින ගණනාවක සිට අදාළ හෝටලයේ ලැගුම් ගනිමින් මොවුන් මෙම සූක්ෂම අන්තර්ජාල වංචාව මෙහෙයවා ඇති බව හෙළි වී තිබේ. වැටලීම සිදු කරන අවස්ථාවේදී හෝටලයෙන් පලා යාමට උත්සාහ කළ චීන ජාතිකයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති අතර, ඔවුන් ප්‍රතිකාර සඳහා හලාවත දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත් කිරීමට පොලිසිය කටයුතු කර ඇත.




මෙම මෙහෙයුමේදී සැකකරුවන් සතුව තිබී ලැප්ටොප් පරිගණක 99 ක්, ඩෙස්ක්ටොප් පරිගණක 26 ක් සහ ජංගම දුරකථන 259 ක් විමර්ශන නිලධාරීන් භාරයට ගෙන ඇත. පසුගිය සති කිහිපය පුරාම දිවයිනේ විවිධ ප්‍රදේශවලින් මෙවැනි අන්තර්ජාල මූල්‍ය වංචාවලට සම්බන්ධ විදේශිකයන් විශාල පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති අතර, මීට පෙර අවස්ථාවකදී ද හලාවත ප්‍රදේශයේම ප්‍රධාන පෙළේ සංචාරක හෝටලයකදී මෙවැනිම චීන ජාතිකයින් පිරිසක් අත්අඩංගුවට ගත් බව හලාවත පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.