whose-desire-did-the-third-dna-test-to-say-that-sarah-jasmine-was-dead-when-it-was-confirmed-that-she-was-alive-in-two-cases

පාස්කු ඉරිදා එල්ල කරන ලද ත්‍රස්ත ප්‍රහාර මාලාවට සම්බන්ධ බවට සැකකෙරෙන පුලස්තිනී මහේන්දුන් නොහොත් සාරා ජෙස්මින් නමැත්තිය 2019 අප්‍රේල් 26 වැනිදා සයින්දමරුදු ප්‍රදේශයේ නිවසක සිදුවූ පිපිරීමෙන් මියගොස් නොමැති බව ඩී.එන්.ඒ. පරීක්ෂණ දෙකකින්ම තහවුරු වී තිබියදී, ඒ සඳහා තෙවැනි පරීක්ෂණයක් කිරීමට උපදෙස් ලබාදීම සම්බන්ධයෙන් පූර්ණ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා ඊයේ (11) රහස් පොලිසියට නියෝග කළේය.

එවකට සිටි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් 2022 වසරේ ආරක්ෂක මණ්ඩල රැස්වීමකදී මෙම තෙවැනි ඩී.එන්.ඒ. පරීක්ෂණය සිදුකිරීමට නියෝග කර ඇත්තේ පරීක්ෂණ කටයුතු නොමඟ යැවීමේ අරමුණින් නම් එය මුළුමනින්ම නීති විරෝධී බවත්, එය නිවැරදි මාර්ගයට ගැනීම සඳහා කළ දෙයක් නම් එහි ගැටලුවක් නොමැති බවත් මහේස්ත්‍රාත්වරයා එහිදී පෙන්වා දුන්නේය.




එමෙන්ම, අදාළ තෙවැනි ඩී.එන්.ඒ. පරීක්ෂණය සිදුකිරීමට ලබාදුන් නියෝගය වැරදිසහගත ක්‍රියාවක් වන්නේ නම් ඊට අදාළ අපරාධමය වගකීම භාරගත යුත්තේ කවුරුන්ද යන්න පිළිබඳව ද අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් දැනුම් දුන්නේය. මෙම කරුණු අනාවරණය වූයේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ චැනල් 04 නාලිකාව විසින් සිදුකරන ලද හෙළිදරව්වට අදාළව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන ප්‍රශ්න කරනු ලබන විශ්‍රාමික මේජර් ජෙනරාල් තුවාන් සුරේෂ් සලේ ඇතුළු සැකකරුවන් තිදෙනකුට එරෙහිව පවතින විමර්ශනය අධිකරණයේ කැඳවූ අවස්ථාවේදීය. මෙහිදී තුන්වැනි සැකකරු ලෙස සුරේෂ් සලේ නම් කිරීමට අදාළව රහස් පොලිසිය විසින් පිටු 25කින් යුත් සාක්ෂි සාරාංශ වාර්තාවක් ද අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබීය.

මෙම නඩුවේ පළමු සහ දෙවැනි සැකකරුවන් ලෙස රාජ්‍ය බුද්ධි සේවයට අනුයුක්තව සිටි පොලිස් සැරයන් ජෙකිල් පාස් මෙන්ම පොලිස් බුද්ධි අංශයේ එවකට සේවය කළ පොලිස් පරීක්ෂක නිශාන්ත යන නිලධාරීන් නම් කර තිබේ. කෙසේ වෙතත්, මෙම පළමු සහ දෙවැනි සැකකරුවන් පාස්කු ප්‍රහාරයට සෘජුවම සම්බන්ධ වී ඇති බවට මෙතෙක් කිසිදු තොරතුරක් අනාවරණය වී නොමැති බව රහස් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැහැදිලි කළේ ඔවුන්ට එරෙහිව චෝදනා එල්ල වී ඇත්තේ වවුනතිවු ප්‍රදේශයේ සිදුකළ විමර්ශන කටයුතු නොමඟ යැවීමට ක්‍රියා කිරීම යන කාරණය පදනම් කරගෙන පමණක් බවයි.




මෙහිදී තුන්වැනි සැකකාර සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා සිය සේවාදායකයාට එරෙහිව පවතින සාක්ෂි කවරේදැයි අධිකරණයෙන් විමසීමක් කළේය. ඊට පිළිතුරු දෙමින් රහස් පොලිසිය සඳහන් කළේ යුද හමුදා බුද්ධි අංශයට සම්බන්ධ අයෙකුගේ මාර්ගයෙන් මීගමුව ප්‍රදේශයේ දීර්ඝ කාලයක සිට ක්‍රියාත්මක වූ ඔත්තුකරුවකු හරහා, කටුවාපිටිය දේවස්ථානයට බෝම්බ ප්‍රහාරය එල්ල කළ අන්තවාදීන්ට තුන්වැනි සැකකරු විසින් මඟපෙන්වීමක් සිදුකර ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි. සුරේෂ් සලේ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා විසින් අධිකරණය වෙත ඉල්ලීම් කිහිපයක්ම ඉදිරිපත් කරන ලද අතර, ඒ සම්බන්ධයෙන් වන නියෝගය එළඹෙන මාර්තු මස 25 වැනිදා ප්‍රකාශයට පත්කරන බව මහේස්ත්‍රාත්වරයා නියම කළේය. මෙම නඩු විභාගයේදී අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ මනුෂිකා කුරේ මෙනවිය ද, පළමු සහ දෙවැනි සැකකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ නිසාම් කාරියප්පර් මහතා ද පෙනී සිටියහ.

whose-desire-did-the-third-dna-test-to-say-that-sarah-jasmine-was-dead-when-it-was-confirmed-that-she-was-alive-in-two-cases