a-three-wheeler-carrying-toys-was-arrested-on-katugastota-road

කටුගස්තොට ප්‍රදේශයේ අතිශය භයානක අන්දමින් ත්‍රිරෝද රථයක් පදවන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමෙන් අනතුරුව අදාළ රියදුරුව අත්අඩංගුවට ගෙන ඇති බව රථවාහන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර මහතා ප්‍රකාශ කළේය.




මහජනතාව විසින් අදාළ වීඩියෝ දර්ශන අන්තර්ජාලය වෙත මුදාහැරීමෙන් පසුව පොලිසියට මෙම සිදුවීම පිළිබඳව මුලින්ම තොරතුරු අනාවරණය වී ඇත.

ඉකුත් අඟහරුවාදා (10) කටුගස්තොට පොලිස් ස්ථානාධිපතිවරයා වෙත මෙම සිද්ධිය වාර්තා වීමෙන් පසුව ක්‍රියාත්මක වූ පොලිසිය, අපරීක්ෂාකාරී ලෙස රිය පැදවූ බවට සැකකෙරෙන 26 හැවිරිදි තරුණයාව මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.




අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව සිදුකළ පරීක්ෂණයකදී අදාළ සැකකරු ගංජා මත්ද්‍රව්‍ය භාවිතා කර ඇති බවටද තහවුරු වී ඇති බව නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේය.

අද දිනයේදී මෙම සැකකරු අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර, එහිදී ඔහුට එරෙහිව මනුෂ්‍ය ඝාතනයකට තැත් කිරීම ඇතුළු බරපතළ චෝදනා කිහිපයක් යටතේ නඩු පවරා ඇත.



මේ අතර, අදාළ ත්‍රිරෝද රථයේ පැවරුම් ලියකියවිලි නිසි පරිදි සම්පූර්ණ කර නොමැති බවද විමර්ශනවලදී අනාවරණය වී තිබේ. ඒ අනුව, ගලහ ප්‍රදේශයේ පදිංචි රථය විකුණූ පුද්ගලයා සහ එය මිලදී ගත් පුද්ගලයා යන දෙදෙනා සම්බන්ධයෙන්ද මෝටර් රථවාහන පනත යටතේ ඉදිරි විමර්ශන ක්‍රියාත්මක කරන බව සේනාධීර මහතා වැඩිදුරටත් පැවසීය.

මෙම සිදුවීම සම්බන්ධයෙන් පොලිසිය දැනුවත් කිරීම පිළිබඳව මහජනතාවට සිය කෘතඥතාව පළකළ නියෝජ්‍ය පොලිස්පතිවරයා, ඉදිරියටත් මෙවැනි භයානක රිය පැදවීම් සහ මාර්ග නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් මහජනතාව ලබාදෙන තොරතුරු මත නොපමාව නීතිය ක්‍රියාත්මක කරන බවද අවධාරණය කළේය.