හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ සහ පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල යන මහත්වරුන් විසින්, මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) භාරයේ රඳවා සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජනරාල් සුරේෂ් සලේ මහතාගේ රැඳවුම් තත්ත්වය සම්බන්ධයෙන් දැඩි කනස්සල්ල පළ කරමින් අදහස් දක්වා තිබේ.
විමල් වීරවංශ මහතා පෙන්වා දෙන්නේ, ජනාධිපතිවරයාගේ බලතල යටතේ රැඳවුම් නියෝග මත දින 90කට අධික කාලයක් නිසි පරිදි අධිකරණය දැනුවත් කිරීමකින් තොරව සලේ මහතාව රඳවාගෙන සිටින බවයි. මුලදී අවම පහසුකම් සහිත කාමරයක රඳවා සිටි ඔහුව, අපේක්ෂිත ප්‍රකාශ ලබා නොදීම හේතුවෙන් මේ වන විට ඉතා අපිරිසිදු දඬුවම් කුටියකට මාරු කර ඇති බවට ඔහු චෝදනා කරයි. එම කුටිය දුගඳ හමන වැසිකිළියකට යාබදව පිහිටා ඇති බැවින් ඔහුට ආහාර ගැනීමට පවා නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති අතර, නිදාගැනීමට පැදුරක් හෝ නොමැතිව දූවිලි සහිත පොළොවේ පත්තර කඩදාසියක් මත නිදාගැනීමට ඔහුට සිදුව ඇති බව ද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය. මෙය සලේ මහතාව මානසිකව හා ශාරීරිකව රෝගී කර මරා දැමීමේ සැලසුමක් බවට ද ඔහු චෝදනා නඟයි.
යුද සමයේදී තමිල්චෙල්වම් ඉලක්ක කරගත් ප්‍රහාරයට මෙන්ම මගී බස් රථ සහ දුම්රියවල බෝම්බ පිපිරීම් වළක්වා ගැනීමට තීරණාත්මක බුද්ධි තොරතුරු සැපයූ බුද්ධි ප්‍රධානියෙකුට මෙලෙස අමානුෂික ලෙස සැලකීම සම්බන්ධයෙන් වීරවංශ මහතා සිය දැඩි විරෝධය පළ කර ඇත. එසේම, පාස්කු ප්‍රහාරයේ සැබෑ වගකීම පැහැර හැරිය පුද්ගලයින්ට රජය විසින් රැකවරණය සපයන බවටත්, බුද්ධි තොරතුරු නිසි පරිදි ක්‍රියාත්මක නොකළ ඇතැම් නිලධාරීන්ට උසස්වීම් ලබා දී අදාළ සමයේ විදේශගතව සිටි සලේ මහතා වැනි නිලධාරීන් ඉලක්ක කර ඇති බවටත් ඔහු රජයට චෝදනා කරයි. මීට එරෙහිව ඉදිරියේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අසල දැවැන්ත මහජන විරෝධතාවක් සංවිධානය කරන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
මේ අතර, සුරේෂ් සලේ මහතාගේ පවුලේ සාමාජිකයන්ගේ ඉල්ලීමක් මත ඔහුගේ නීතිඥවරයා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් ඔහුව මුණගැසුණු උදය ගම්මන්පිල මහතා ද අදාළ චෝදනා සනාථ කරමින් අදහස් පළ කළේය. ගම්මන්පිල මහතාට අනුව, සලේ මහතා රඳවා සිටින කුටියට යාබද වැසිකිළියෙන් හමන දැඩි දුර්ගන්ධය හේතුවෙන් ඔහුගේ ඉරුවාරදය (Migraine) රෝගී තත්ත්වය උත්සන්න වී ඇති අතර, ඒ සඳහා ලබාගන්නා ඖෂධ ප්‍රමාණය ද දෙගුණ කිරීමට සිදුව තිබේ. රාත්‍රී කාලයේදී මීයන් සහ කැරපොත්තන් ඔහුගේ සිරුර මතින් ගමන් කරන බවත්, මීට පෙර එම කුටියේ සිටි අයෙකු මීයන් සපාකෑම නිසා රෝගාතුර වූ බවත් ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේය. කොටි ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයට ලක්වූවා නම් මීට වඩා හොඳ සැලකිල්ලක් ලැබෙනු ඇතැයි සලේ මහතා එහිදී ප්‍රකාශ කර තිබේ.
වසර 37කට ආසන්න කාලයක් තම පවුල් ජීවිතය පවා කැප කරමින් රට වෙනුවෙන් සේවය කළ තමන්ට මෙලෙස සැලකීම පිළිබඳව සලේ මහතා පොලිස් නිලධාරීන් ඉදිරියේදීම කඳුළු සලමින් කනගාටුව පළ කර ඇත. තමා, තම පියා, සීයා මෙන්ම සහෝදරයන් දෙදෙනෙකු ද හමුදාවට එක්වී රටට සේවය කළ ද, ජාතියේ කෙළෙහිගුණ දැක්වීම මෙය දැයි ඔහු ප්‍රශ්න කර තිබේ. එසේම, අතීතයේදී පිල්ලෙයාන් අත්අඩංගුවට ගත් සමයේ මෙම සිදුවීම් මාලාව චිත්‍රපටයක් සේ ඉදිරියට ගමන් කර සලේ මහතාට සහ ඉන්පසු ගෝඨාභය රාජපක්ෂ මහතාට ද බලපෑම් එල්ල විය හැකි බවට තමා කලින්ම අනතුරු ඇඟවූ බව ද ගම්මන්පිල මහතා සිහිපත් කළේය.
කෙසේ වෙතත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අදාළ මහලේ මීයන් ගැවසෙන බවට නැගෙන චෝදනා සම්බන්ධයෙන් ඇමති නලින්ද ජයතිස්ස කථාකර තිබෙන අතර එවැනි චෝදනාවක් මේ දක්වා ලැබී නැති බවත් එවැනි චෝදනාවක් සත්‍ය ලෙස පවතී නම් බලධාරීන් විධිමත් පරීක්ෂණයක් පවත්වා එක් පුද්ගලයෙකුට පමණක් නොව සියලුම රැඳවියන් වෙනුවෙන් ඊට සුදුසු පිළියම් යෙදියහැකි බව ද වැඩිදුරටත් අවධාරණය කර ඇත.