
කළුබෝවිල, පීරිස් මාවතේ පිහිටි 'කෙන්ට් රෙසිඩන්ස්' (Kent Residence) නමැති සිව්මහල් නිවාස සංකීර්ණයක දෙවන මහලේ කුලී පදනම මත පදිංචිව සිටි 28 හැවිරිදි චීන ජාතික තරුණියක් ඊයේ (23) සවස තියුණු ආයුධයකින් ඇන ඝාතනය කර තිබේ. එම අවස්ථාවේදී ඇයගේ මිතුරෙකු යැයි පැවසෙන තවත් චීන ජාතිකයෙකුට ද පිහි ඇනුම් එල්ල වී ඇති අතර, ඔහු ඉන් බරපතළ තුවාල ලබා ඇත.
මෙම අපරාධය සිදු කළ බවට සැක කෙරෙන චීන ජාතිකයා මේ වන විටත් ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර, ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා කොහුවල පොලිසියේ අපරාධ විමර්ශන අංශය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ ලීවා වියාන් නැමැති චීන තරුණියකි. පොලිස් ආරංචි මාර්ගවලට අනුව, ඇය මීට මාස දෙකකට පමණ පෙර මෙම නිවාස සංකීර්ණයේ අදාළ නිවස කුලියට ගෙන එහි පදිංචියට පැමිණ ඇත. මෙම අමානුෂික ඝාතනය සිදු කර පළාගොස් ඇති සැකකරු මියගිය තරුණියගේ පෙම්වතා බවට තොරතුරු අනාවරණය වී ඇති අතර, ප්‍රේම සම්බන්ධතාවයක් මත ඇති වූ ආරවුලක් මෙම අපරාධයට හේතු වන්නට ඇති බවට උසස් පොලිස් නිලධාරියෙකු අනුමාන කරයි. පොලිස් හදිසි ඇමතුම් අංකයට ලැබුණු විශේෂ තොරතුරක් මත වහාම ක්‍රියාත්මක වූ නිලධාරීන් අදාළ මහල් නිවාසය වෙත ගොස් සිදුකළ පරීක්ෂා කිරීමේදී මෙම මෘතදේහය සොයාගෙන තිබේ. ඒ අනුව පොලීසිය විසින් අපරාධය සිදුවූ ස්ථානයට පැමිණ මූලික විමර්ශන කටයුතු වහාම ආරම්භ කරනු ලැබීය.
මෙතෙක් සිදුකර ඇති පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී ඇති තොරතුරු අනුව මෙම ඝාතනය සිදුකර ඇත්තේ මියගිය කාන්තාවගේ හිටපු පෙම්වතා බවට නිලධාරීන් දැඩි ලෙස සැකපළ කරයි.
අදාළ සැකකාර පෙම්වතා මීට දින තුනකට පමණ පෙර ඝාතනයට ලක්වූ තරුණියගේ නිවසට යාබද නිවසක් කුලියට ගෙන එහි නවාතැන් ගෙන සිට ඇති බව වැඩිදුරටත් හෙළි වී තිබේ.
ඔහු මෙම ඝාතනය හිතාමතා සැලසුම් කර සිදුකරන්නට ඇතැයිද පහරකෑ අනෙක් චීන තරුණයා මියගිය තරුණියගේ වත්මන් පෙම්වතා වන බවද වාර්තාවී තිබේ. තරුණිය තුන්කොන් ප්‍රේමයක නිරතව සිට ඇති බවද එහි ඇතිවූ ගැටලු මත පැරණි පෙම්වතා අතැර ඇතැයිද පලිගැනීමේ චේතනාවකින් ඝාතනය කරන්නට ඇතැයිද තොරතුරු හෙළිවෙමින් තිබේ.
පෙම් ආරවුලක් මත මේ ඝාතනය සිදුකර ඇතැයි සැක පළ කරයි.
සැහැසිකරුගේ පිහි ප්‍රහාරයට ලක්වූ චීන තරුණිය එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති අතර, පොලිසිය විසින් ඇයගේ සිරුර එම නිවසේ තිබී සොයාගෙන ඇත.
මේ අතර, ඝාතනය සිදුකර පළාගොස් ඇති සැකකාර චීන ජාතිකයා රටින් පිටවීම වැළැක්වීම සඳහා කටුනායක සහ මත්තල ගුවන් තොටුපළ බලධාරීන් වෙත ඔහු පිළිබඳ සියලු තොරතුරු ලබා දීමට පොලිසිය පියවර ගෙන ඇත. ඔහු ගුවන් තොටුපළට පැමිණියහොත් වහාම අත්අඩංගුවට ගන්නා ලෙසට ද දැනුම් දී තිබේ. බස්නාහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න සහ බස්නාහිර දකුණ දිසා භාර නියෝජ්‍ය පොලිස්පති සාමන්ත විජේසේකර යන මහත්වරුන්ගේ උපදෙස් මත, ගල්කිස්ස කොට්ඨාසය භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී අශෝක ගුණසේකර මහතාගේ මෙහෙයවීමෙන් කොහුවල පොලිසියේ අපරාධ විමර්ශන අංශය විසින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු සිදු කරනු ලබයි.


