malima-pvt-who-attacked-the-neighbor-girl-in-the-middle-of-the-family-dispute-mp-arrested

තමන්ගේ බිරිඳට පහර දීමට ගිය අවස්ථාවකදී එය වැළැක්වීමට මැදිහත් වූ අසල්වැසි තරුණියකට පහර දීමේ චෝදනාවක් මත ගලෙන්බිඳුණුවැව ප්‍රාදේශීය සභාව නියෝජනය කරන ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරයෙකුව මොරගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය 22 වැනිදා රාත්‍රී කාලයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.




මෙම සිදුවීමෙන් පහරකෑමට ලක්ව ඇත්තේ මොරගොඩ ප්‍රදේශයේම පදිංචිව සිටින විසිපස් හැවිරිදි තරුණියකි. මන්ත්‍රීවරයාගේ පහරදීම හේතුවෙන් ඇයගේ සිරුරේ තැලුම් තුවාල සිදුවී ඇති බැවින්, මේ වන විට ඇය රෝහල්ගත කර ප්‍රතිකාර ලබාදෙමින් පවතින බව පොලිසිය තහවුරු කරයි.

අදාළ සැකකාර මන්ත්‍රීවරයා, ඔහුගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා මෙම තරුණියගේ නිවසට යාබද නිවසේ පදිංචිව සිටින අය වෙති. පොලිස් ආරංචි මාර්ග අනාවරණය කරන පරිදි, මන්ත්‍රීවරයා සහ ඔහුගේ බිරිඳ අතර යම් පවුල් ආරවුලක් හටගෙන ඇති අතර, එය දුරදිග යාම හේතුවෙන් බිරිඳ සිය දරුවන් දෙදෙනා ද සමඟින් ආරක්ෂාව පතා අසල්වැසි තරුණියගේ නිවසට පැමිණ තිබේ.




සිය බිරිඳ සහ දරුවන් අසල්වැසි නිවසේ සිටින බව දැනගත් පසු මන්ත්‍රීවරයා එම නිවසට බලහත්කාරයෙන් ඇතුළු වී බිරිඳට පහර දීමට උත්සාහ කර ඇත. එම අවස්ථාවේදී අදාළ තරුණිය එය වැළැක්වීමට ඉදිරිපත් වූ විට, සැකකාර මන්ත්‍රීවරයා තමාට පහර දුන් බව වින්දිත තරුණිය විසින් පොලිසියට ප්‍රකාශ කර තිබේ. සිද්ධියට අදාළව අත්අඩංගුවට ගනු ලැබූ සැකකාර ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් ගලෙන්බිඳුණුවැව පොලිසිය මගින් මේ වන විටත් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරමින් පවතී.