wijeweera-of-customs-who-sold-the-palm-oil-stock-ordered-by-vanasanna-to-a-thief

මිනිස් පරිභෝජනයට නුසුදුසු බව තහවුරු වීම හේතුවෙන් විනාශ කිරීමට නියම කර තිබූ ෆාම් ඔයිල් බහාලුමක් රුපියල් ලක්ෂ හතළිහක මුදලකට අලෙවි කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා රේගුවේ හිටපු නිලධාරියෙකු ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා ඊයේ (23) නියෝග කළේය.




මෙලෙස ඇප නියම වූයේ ශ්‍රී ලංකා රේගුවේ මධ්‍යම අපහරණ අංශයේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන ඩී.කේ.ඩී. විජයවීර නමැත්තාටය. ඔහුට රුපියල් ලක්ෂ දහය බැගින් වූ ශරීර ඇප දෙකක් නියම කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා, ඊට අමතරව ඔහුගේ විදේශ ගමන් තහනම් කිරීමට ද පියවර ගත්තේය.

මෙම සිද්ධියට පාදක වී ඇත්තේ 2019 වසරේදී ආනයනය කරන ලද රුපියල් කෝටි තුනකට අධික වටිනාකමකින් යුත් ෆාම් ඔයිල් බහාලුම් පහකි. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අධිකරණයට කරුණු දක්වමින් ප්‍රකාශ කළේ, 2019 ජනවාරි 25 වැනි දින සී.අයි.සී.ටී. පර්යන්තයට ගොඩබා තිබූ මෙම බහාලුම් මාස තුනකට අධික කාලයක් මුදා නොගැනීම හේතුවෙන් රේගු ආඥා පනත යටතේ ඒවා විනාශ කිරීමට එවකට රේගු අධ්‍යක්ෂ ජනරාල්වරිය විසින් නියෝග කර තිබූ බවයි.




එසේ විනාශ කිරීමට නියමිතව තිබියදීත්, ඉන් එක් බහාලුමක් 2019 ජූලි මාසයේදී පෑලියගොඩ ප්‍රදේශයට රැගෙන ගොස් තැරැව්කරුවෙකු මාර්ගයෙන් ව්‍යාපාරිකයෙකුට විකුණා ඇති බවට අල්ලස් කොමිසම චෝදනා කරයි. විමර්ශන කටයුතු තවමත් අවසන් වී නොමැති බැවින් සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස එම කොමිසම අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රංජිත් හීල්ලගේ මහතා අධිකරණය හමුවේ පෙන්වා දුන්නේ, මෙම සිදුවීමට අදාළව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ මේ වන විටත් අධිචෝදනා ගොනු කර ඇති බවත්, එහි විත්තිකරුවන් හත්දෙනෙකු සිටින බවත්ය. මීට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කළ විමර්ශනවලදී ද සැකකරු දින 20ක කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිට ඇප මත නිදහස් වූ අයෙකු බව නීතිඥවරයා අවධාරණය කළේය.



තවද, මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් 79 දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගෙන ඇති බැවින් සැකකරුගෙන් සාක්ෂිකරුවන්ට බලපෑමක් එල්ල විය නොහැකි බවද විත්තියේ නීතිඥවරයා පැවසීය. දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කරන ලද කරුණු සලකා බැලීමෙන් අනතුරුව සැකකරුට ඇප නියම කළ මහේස්ත්‍රාත්වරයා, අදාළ විමර්ශනවල ප්‍රගතිය එළඹෙන ජූලි මස 21 වැනිදා අධිකරණයට වාර්තා කරන ලෙස අල්ලස් කොමිසමට නියෝග කළේය.