the-talk-of-power-cuts-in-the-future-is-a-hoax

ඉදිරියේදී විදුලි කප්පාදුවක් සිදුවීමට නියමිත බවට මේ දිනවල සමාජය තුළ පැතිර යන කටකතා සහ ප්‍රවෘත්ති සම්පූර්ණයෙන්ම අසත්‍ය බව බලශක්ති අමාත්‍යාංශය නිවේදනය කරයි. විශේෂයෙන්ම එළඹෙන අප්‍රේල් මාසය වන විට නොරොච්චෝලේ ලක්විජය බලාගාරයට අවශ්‍ය ගල් අඟුරු සැපයීම අඩාල වී ඇති බැවින් විදුලිය විසන්ධි කිරීමට සිදුවනු ඇති බවට ඇතැම් මාධ්‍ය සහ සමාජ මාධ්‍ය හරහා සාවද්‍ය තොරතුරු සංසරණය වන බව අමාත්‍යාංශය පෙන්වා දෙයි.




මෙම අසත්‍ය ප්‍රචාරයන් ප්‍රතික්ෂේප කරමින් අමාත්‍යාංශය අවධාරණය කරන්නේ මේ වන විට ලක්විජය බලාගාරයේ කටයුතු කිසිදු බාධාවකින් තොරව සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වෙමින් පවතින බවයි. ඉදිරි විදුලි උත්පාදන අවශ්‍යතාවයන් සඳහා ඇණවුම් කරන ලද ගල් අඟුරු නැව් 36න් 22ක්ම මේ වන විටත් ගොඩබා අවසන් කර තිබේ. එමෙන්ම ඉතිරි ගල් අඟුරු තොගය ද කිසිදු ප්‍රමාදයකින් හෝ බාධාවකින් තොරව නියමිත පරිදි ලබා දීමට සැපයුම්කරුවන් විසින් සහතික වී ඇත. මීට අමතරව, යම් හෙයකින් හදිසි තත්වයක් මතු වුවහොත් ඊට මුහුණ දීම සඳහා කඩිනමින් ගල් අඟුරු ගෙන්වා ගැනීමේ මූලික ක්‍රියාමාර්ග ද මේ වන විටත් ගෙන ඇති බව බලශක්ති අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

ගල් අඟුරු සැපයුමට අමතරව, අප්‍රේල් මාසයේ අවසානය දක්වා විදුලි උත්පාදන කටයුතු සඳහා අවශ්‍ය කරන දැවි තෙල් තොග ද ප්‍රමාණවත් තරම් පවතින බව තහවුරු කර තිබේ. මෙම කරුණු මත පදනම්ව, කිසිදු ආකාරයක විදුලි කප්පාදුවක් ඇතිවීමේ අවදානමක් නොමැති බව බලධාරීහු පැහැදිලි කරති. එබැවින්, මෙවැනි පදනම් විරහිත සහ නොමඟ යවන සුළු ප්‍රවෘත්ති විශ්වාස කර නොරැවටෙන ලෙස බලශක්ති අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම් ශාන් මොහොමඩ් මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

the-talk-of-power-cuts-in-the-future-is-a-hoax