ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙනුවෙන් සහ ඉරානයට එරෙහිව එරට දියත් කර ඇති යුද්ධයේ සාර්ථකත්වය වෙනුවෙන් යාච්ඤා කිරීම සඳහා ඉවැන්ජලිකල් (Evangelical) ආගමික නායකයින් පිරිසක් පසුගිය මාර්තු 05 වැනිදා ධවල මන්දිරයේ ඕවල් කාර්යාලයට රැස්වූහ. වාර්ෂිකව සිදුවන චාරිත්‍රයක් බවට පත්ව ඇති මෙම යාච්ඤා මෙහෙය සංවිධානය කරන ලද්දේ ධවල මන්දිරයේ ආගමික කටයුතු පිළිබඳ කාර්යාලයේ ප්‍රධානී පෝලා වයිට් කේන් නම් ප්‍රසිද්ධ රූපවාහිනී ධර්ම දේශිකාවකි.
ධවල මන්දිරය විසින් නිකුත් කරන ලද සහ සමාජ මාධ්‍ය වීඩියෝ අනුව, ජනාධිපතිවරයා වටා පුද්ගලයින් විසි දෙනෙකු පමණ සිටින අයුරු දැකගත හැකිය. රොබට් ජෙෆ්‍රස්, රැල්ෆ් රීඩ් සහ ගැරී බවර් යන ප්‍රමුඛ පෙළේ ආගමික නායකයින් මෙන්ම, දකුණු ෆ්ලොරිඩාවේ ක්‍රයිස්ට් ෆෙලෝෂිප් පල්ලියේ නිර්මාතෘ ටොම් මුලින්ස් ද මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ. එහිදී යාච්ඤාව මෙහෙයවූ මුලින්ස්, ජනාධිපතිවරයාට මෙන්ම සන්නද්ධ අංශවල සේවය කරන සියලුම සාමාජිකයින්ට දෙවියන්ගේ කරුණාව සහ ආරක්ෂාව ප්‍රාර්ථනා කළේය. එසේම, ජාතිය යළිත් එක්සත් කිරීම සඳහා ජනාධිපතිවරයාට අවශ්‍ය ශක්තිය ලබා දෙන ලෙසද ඔහු ආයාචනා කළේය.
මෙම අවස්ථාවට එක්වූ මර්සි කල්චර් පල්ලියේ නායක නේට් ෂැට්ස්ලයින් ප්‍රකාශ කළේ, ජනාධිපතිවරයා වෙනුවෙන් යාච්ඤා කිරීමට ලැබීම විශාල ගෞරවයක් බවයි. ඇමෙරිකානු ඉතිහාසයේ වෙනත් කිසිදු ජනාධිපතිවරයෙකුට වඩා ට්‍රම්ප් ආගමික ප්‍රජාව, ආගමික නිදහස සහ අනාගත පරපුර වෙනුවෙන් විශාල මෙහෙවරක් ඉටුකර ඇති බව ඔහු එක්ස් (X) සමාජ මාධ්‍ය ජාලයේ සටහනක් තබමින් වැඩිදුරටත් සඳහන් කළේය. මේ අතර, ෆේත් ඇන්ඩ් ෆ්‍රීඩම් සන්ධානයේ රැල්ෆ් රීඩ් මෙම යාච්ඤා මෙහෙය විස්තර කළේ ඉරානයට එරෙහිව ඇමෙරිකානු හමුදා සිදුකරන ප්‍රහාර සඳහා දෙවියන්ගේ සහාය ඉල්ලා සිටීමේ අවස්ථාවක් ලෙසිනි. ත්‍රස්තවාදී පාලන තන්ත්‍රයකට පහර දීමට ට්‍රම්ප් ගත් නිර්භීත තීරණය අගය කළ ඔහු, ඉරාන ජනතාවට නිදහස ප්‍රාර්ථනා කළේය.