the-panadura-property-of-kudu-salindu-will-be-taken-over-by-the-government

විදේශගතව සැඟවී සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවෙකු වන සලිඳු මලක්‍ෂිත හෙවත් 'කුඩු සලිඳු' නමැත්තාට අයත් රුපියල් කෝටි ගණනක් වටිනා දේපළ රැසක් නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් රජයට පවරා ගෙන ඇත. මත්ද්‍රව්‍ය ජාවාරම හරහා උපයාගත් නීතිවිරෝධී මුදල් භාවිත කරමින් මෙම සියලු දේපළ මිලදී ගෙන ඇති බවට අදාළ අංශ විසින් සිදුකරන ලද දීර්ඝ විමර්ශනවලදී තවදුරටත් තහවුරු වී තිබේ.




මෙසේ තහනමට ලක් කර ඇති දේපළ අතර පානදුර අළුබෝමුල්ල ප්‍රදේශයේ පිහිටි රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමකින් යුත් පර්චස් 21ක ඉඩමක් සහ නිවසක් වෙයි. මීට අමතරව පානදුර - රත්නපුර මාර්ගයේ මහබෙලන හන්දියේ පිහිටි පර්චස් 40ක භූමි භාගයක්, නිවසක්, ගබඩා සංකීර්ණයක් සහ කඩ කාමරයක්ද රජයට පවරාගත් දේපළ අතරට අයත් වන අතර ඒවායේ වටිනාකම රුපියල් කෝටි හතරකට ආසන්න බව පොලිස් ආරංචි මාර්ග පෙන්වා දෙයි.

මීට පෙර අවස්ථාවකදී විදේශ රටක සැඟව සිටියදී ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට රැගෙන එනු ලැබූ මෙම ප්‍රධාන සැකකරු, අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදා හැර තිබිණි. එසේ ඇප මත නිදහස් වීමෙන් අනතුරුව ඔහු යළිත් වරක් නීතියේ රැහැනින් මිදී හොර රහසේම වෙනත් විදේශ රටකට පලාගොස් ඇති බව වාර්තා වේ.




පසුගිය කාලසීමාව තුළ මෙම සැකකරු සහ 'පානදුර කුඩු නිලංග' නමැත්තාගේ පාර්ශ්වය අතර දැඩි ගැටුම්කාරී තත්ත්වයක් නිර්මාණය වී තිබූ අතර, ඒ හේතුවෙන් පානදුර දකුණ, හිරණ සහ පින්වත්ත යන පොලිස් බල ප්‍රදේශ තුළ වෙඩි තැබීම් හා ඝාතන කිහිපයක්ම වාර්තා විය. කෙසේ වෙතත් කුඩු නිලංග ඇතුළු කල්ලිය පොලිස් අත්අඩංගුවට පත්වීමත් සමග එම ගැටුම්කාරී තත්ත්වය තරමක් දුරට සමනය වී ඇති අතර, දැනට විදේශගතව සිටින කුඩු සලිඳුගේ සෙසු වත්කම් සම්බන්ධයෙන් නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය තවදුරටත් පුළුල් පරීක්ෂණ ක්‍රියාත්මක කරමින් පවතී.

the-panadura-property-of-kudu-salindu-will-be-taken-over-by-the-government

the-panadura-property-of-kudu-salindu-will-be-taken-over-by-the-government