trumps-opposition-is-sick-for-starting-the-war-without-listening

ඉරානයට එරෙහිව එල්ල කළ ප්‍රහාරය සේනාධිනායකයා ලෙස එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඇති බලතල යටතේ සිදු කරන ලද්දක් බව රිපබ්ලිකන් පක්ෂය තරයේ ප්‍රකාශ කර සිටින අතර, ඩිමොක්‍රටික් පාක්ෂිකයන් පෙන්වා දෙන්නේ රජය විසින් ඊට නිසි සාධාරණීකරණයක් ඉදිරිපත් කර නොමැති බැවින් මේ සතියේදී යුද බලතල පිළිබඳ ඡන්ද විමසීමක් පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි.




ඊශ්‍රායල සහ එක්සත් ජනපද හමුදා එක්ව ඉරානයට බෝම්බ හෙළීම ආරම්භ කර දින දෙකකට පසුව, රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ, ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත්, සීඅයිඒ අධ්‍යක්ෂ ජෝන් රැට්ක්ලිෆ් සහ ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානීන්ගේ සභාපති ජෙනරාල් ඩෑන් කේන් විසින් කොන්ග්‍රස් නායකයින්ට මෙම තත්ත්වය පිළිබඳව කරුණු පැහැදිලි කරන ලදී.

ඊශ්‍රායලය ඉරානයට පහර දීමට සැලසුම් කර ඇති බවත්, ඊට ප්‍රතිචාර වශයෙන් ඉරානය එක්සත් ජනපද හමුදාවන්ට පහර දෙනු ඇතැයි අපේක්ෂා කළ බවත් දැන සිටි බැවින් එක්සත් ජනපදයට ආසන්න තර්ජනයක් එල්ල වී තිබූ බව රාජ්‍ය ලේකම්වරයා මෙහිදී මාධ්‍යවේදීන්ට ප්‍රකාශ කළේය. ඊශ්‍රායලයේ මෙම තීරණය හේතුවෙන් නිර්මාණය වූ එම "ආසන්න තර්ජනය" හමුවේ එක්සත් ජනපදයට ඊට ප්‍රතිචාර දැක්වීමට සිදුවූ බව රිපබ්ලිකන් නීති සම්පාදකයෝ වැඩිදුරටත් සඳහන් කළහ.




ඇමරිකාව මැදිහත් වුවත් නැතත් ඊශ්‍රායලය ක්‍රියාත්මක වීමට අධිෂ්ඨාන කරගෙන සිටි බැවින්, සේනාධිනායකයාට සහ රජයට ඉතා දුෂ්කර තීරණයක් ගැනීමට සිදුවූ බව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කථානායක මයික් ජොන්සන් රහසිග්‍ය සාකච්ඡාවෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය. මෙම මෙහෙයුම සීමිත විෂය පථයකින් සහ සීමිත අරමුණකින් යුක්ත වූ, තම ආරක්ෂාව සඳහා අතිශයින්ම අවශ්‍ය වූවක් බවත් එය ඉක්මනින් අවසන් වනු ඇතැයි තමන් විශ්වාස කරන බවත් ඔහු එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත්, ඩිමොක්‍රටික් පාක්ෂිකයින් තර්ක කරන්නේ එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් යුද්ධයක් ප්‍රකාශ කිරීමේ තනි අයිතිය ජනාධිපතිවරයාට නොව කොන්ග්‍රසයට ලබා දී ඇති බවයි. එබැවින් නීති සම්පාදකයින්ගේ අනුමැතියකින් තොරව සති ගණනාවක් පුරා ඇදී යා හැකි මෙහෙයුමක් ජනාධිපති ට්‍රම්ප් විසින් ආරම්භ නොකළ යුතුව තිබූ බව ඔවුහු පෙන්වා දෙති. එසේම, ඉරානයට පහර දීම සඳහා ස්ථාවර හේතුවක් ඉදිරිපත් කිරීමට රජය අපොහොසත් වී ඇති බවට ද ඔවුහු චෝදනා කරති.



මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් වර්ජිනියා ප්‍රාන්තයේ ඩිමොක්‍රටික් සෙනෙට් සභික මාර්ක් වෝනර් ප්‍රකාශ කළේ, සතියක් වැනි කෙටි කාලයක් තුළ ඉරානයට පහර දීම සඳහා රජය විවිධ හේතු ඉදිරිපත් කර ඇති බවයි. ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන විනාශ කිරීම, බැලස්ටික් මිසයිල සංවර්ධනය නැවැත්වීම, පාලන තන්ත්‍රය වෙනස් කිරීම සහ ඔවුන්ගේ නාවික බලඇණිය ගිල්වා දැමීම යනාදී වශයෙන් විවිධ හේතු ඉදිරිපත් වුවද, ඇමරිකානු අවශ්‍යතාවලට ක්ෂණික තර්ජනයක් එල්ල වී ඇති බවට විශ්වාසදායක සාක්ෂි පෙන්වීමට ට්‍රම්ප්ගේ ඉහළම සහායකයින් අපොහොසත් වී ඇති බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

සඳුදා සවස වන විට මෙම ගැටුමෙන් එක්සත් ජනපද හමුදා සාමාජිකයින් හය දෙනෙකු මිය ගොස් ඇති අතර, ට්‍රම්ප් පරිපාලන නිලධාරීන් අඟහරුවාදා දිනයේදී සම්පූර්ණ සෙනෙට් සභාවට සහ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට කරුණු දැක්වීමට නියමිතව ඇත.

කොන්ග්‍රස් මණ්ඩලයේ යුද ප්‍රකාශනයකින් තොරව ඉරානයට දිගින් දිගටම පහර දීමෙන් ජනාධිපතිවරයා වළක්වාලිය හැකි යුද බලතල යෝජනා පිළිබඳව නීති සම්පාදකයින් මේ සතිය අගදී ඡන්දය ප්‍රකාශ කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. ජාතික ආරක්ෂක හේතූන් මත සිදුකරන සීමිත ප්‍රහාරයන් සඳහා හැර, එක්සත් ජනපද හමුදා යුද්ධයකට යැවීමේ බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හිමිවන්නේ කොන්ග්‍රසයටයි. කෙසේ වෙතත්, නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සහ සෙනෙට් සභාවේ රිපබ්ලිකන් පක්ෂයට සුළු බහුතර බලයක් ඇති බැවින්, හමුදා ක්‍රියාමාර්ග සඳහා නීති සම්පාදකයින්ගේ අනුමැතිය ලබා ගැනීමට ජනාධිපතිවරයාට බල කිරීමේ සෑම උත්සාහයක්ම මෙතෙක් ව්‍යර්ථ වී ඇත.

trumps-opposition-is-sick-for-starting-the-war-without-listening

trumps-opposition-is-sick-for-starting-the-war-without-listening