the-paddy-marketing-board-manages-to-purchase-a-record-55000-metric-tons-of-paddy

මෙවර මහ කන්නයේ වී මිලදී ගැනීමේ කටයුතු යටතේ මේ දක්වා වී මෙට්‍රික් ටොන් 55,000ක පමණ ප්‍රමාණයක් මිලදී ගැනීමට වී අලෙවි මණ්ඩලය සමත්ව තිබේ. දිවයින පුරා මෙම කටයුතු ක්‍රමවත්ව පවත්වාගෙන යාම සඳහා වී අලෙවි මණ්ඩලයට අයත් මධ්‍යස්ථාන 139ක් මේ වන විටත් සූදානම් කර ඇති බව එහි සභාපති මංජුල පින්නලන්ද මහතා ප්‍රකාශ කරයි.

සමස්ත වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය සාර්ථක කර ගැනීම වෙනුවෙන් රුපියල් කෝටි 1000ක මුදලක් ප්‍රතිපාදන ලෙස වෙන් කර ඇත.




මිලදී ගත් මුළු වී තොගයෙන් වැඩිම ප්‍රමාණයක් අම්පාර දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර, සෙසු දිස්ත්‍රික්කවලින් ද වී මෙට්‍රික් ටොන් 25,000ක පමණ ප්‍රමාණයක් මේ වන විටත් මිලදී ගෙන තිබේ. මීට අමතරව පොළොන්නරුව ඇතුළු තවත් දිස්ත්‍රික්ක කිහිපයකින්ම ඉදිරියේදී වී තොග ලැබීමට නියමිතව ඇත. වී අලෙවි කරන ගොවීන්ට සහනයක් සලසමින්, ඔවුන්ගෙන් වී මිලදී ගන්නා දිනට පසු දිනම ඊට අදාළ මුදල් ගොවීන්ගේ බැංකු ගිණුම් වෙත සෘජුවම බැර කිරීමට පියවර ගෙන ඇති බව ද සභාපතිවරයා පෙන්වා දෙයි.

වී අලෙවි මණ්ඩලයේ මැදිහත්වීමට අමතරව සමුපකාර සමිති සහ සතොස ආයතනය හරහා ද වී මිලදී ගැනීම් සිදු කෙරෙන අතර, මේ වන විටත් සමුපකාර මගින් විශාල වී තොග ප්‍රමාණයක් මිලදී ගෙන අවසන්ය. කෙසේ වෙතත්, රජය විසින් මිලදී ගනු ලබන්නේ තෙතමනය සියයට 14ට වඩා අඩු වී පමණක් බැවින් ඒ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන ලෙස බලධාරීන් ගොවීන්ගෙන් ඉල්ලා සිටියි. මෙලෙස මිලදී ගෙන රැස් කරන වී තොග අනාගතයේදී සහල් බවට පත් කිරීමෙන් අනතුරුව, දැනට වෙළඳපොළේ පවතින සහතික මිලටත් වඩා අඩු මිලකට පාරිභෝගිකයා වෙත නිකුත් කිරීමට සැලසුම් කර ඇති බව ද වී අලෙවි මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.