most-of-the-electricity-is-still-made-from-water

දිවයින පුරා පවතින දැඩි වියළි කාලගුණික තත්ත්වය හමුවේ වුවද, ශ්‍රී ලංකාවේ සමස්ත විදුලි අවශ්‍යතාවයෙන් සියයට 50ක පමණ ප්‍රමාණයක් තවදුරටත් ජල විදුලිය මගින් සපයන බව ජාතික පද්ධති පාලන මධ්‍යස්ථානය පෙරේදා (27) නිවේදනය කළේය. එම මධ්‍යස්ථානය පෙන්වා දෙන්නේ මේ වන විට දෛනික විදුලි ඉල්ලුම මෙගාවොට් 3000 සීමාව අඛණ්ඩව ඉක්මවා ගොස් ඇති බවයි.




ප්‍රධාන ජලාශවල ජල මට්ටමෙහි යම් අඩුවීමක් දක්නට ලැබුණද, සමස්තයක් ලෙස විදුලිය නිපදවන ජලාශවල ජල ධාරිතාව සියයට 75ක පමණ මට්ටමක පවතින බැවින් ජල විදුලි උත්පාදනය සම්බන්ධයෙන් දැනට බරපතළ ගැටලුවක් මතු වී නොමැති බව එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේය. මේ වන විට ගිගාවොට් පැය 675ක ජල විදුලි ප්‍රමාණයක් නිපදවන අතර එය මුළු ඉල්ලුමෙන් සියයට 51කි. කෙසේ වෙතත්, ඉදිරි මෝසම් වර්ෂාව ලැබෙන තෙක් පවතින ජල සංචිත ඉතා ප්‍රවේශමෙන් කළමනාකරණය කරගත යුතු බවද හෙතෙම අවධාරණය කළේය.

පෙබරවාරි මාසයේ ආරම්භ වී අප්‍රේල් දක්වා පවතින වියළි කාලගුණය හේතුවෙන් විදුලි පරිභෝජනය විශාල වශයෙන් ඉහළ ගොස් තිබේ. පසුගිය සඳුදා දිනයේදී මෙගාවොට් 3089ක උපරිම විදුලි ඉල්ලුමක් වාර්තා වූ අතර එය ගිගාවොට් පැය 60.56ක අගයක් ගත් බව අදාළ ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය. එදින සිට මේ දක්වා දෛනික ඉල්ලුම මෙගාවොට් 3000ත් 3050ත් අතර ඉහළ අගයක අඛණ්ඩව පවතී.




මෙසේ ඉල්ලුම ඉහළ ගියද කිසිදු විදුලි කප්පාදුවකින් තොරව පාරිභෝගිකයින්ට අඛණ්ඩව විදුලිය සැපයීමට පියවර ගෙන ඇති අතර, ජල විදුලියෙන් සපුරාලිය නොහැකි ඉතිරි අවශ්‍යතාව ගල්අඟුරු මෙන්ම ඩීසල්, දැවිතෙල් සහ නැප්තා වැනි ඉන්ධන භාවිතයෙන් ලබාගැනේ. මේ සඳහා අවශ්‍ය ඉන්ධන ලබාගැනීම වෙනුවෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සමග එක්ව කටයුතු කරන බවද ජාතික පද්ධති පාලන මධ්‍යස්ථානය පවසයි. ලංකා විදුලිබල මණ්ඩලය අහෝසි කිරීමෙන් අනතුරුව, මෙරට සමස්ත විදුලි ජනන සහ බෙදාහැරීමේ ක්‍රියාවලිය මේ වන විට 'නැෂනල් සිස්ටම් ඔපරේෂන්' නමැති පෞද්ගලික ආයතනයක් මගින් මෙහෙයවනු ලබයි.