වනසත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනත මෙන්ම සත්ව රෝග ආඥාපනත ද උල්ලංඝනය කරමින් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ සුරතල් සතුන් තිස් අට දෙනෙකු සමඟ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු කටුනායක ගුවන් තොටුපොළේදී බලධාරීන්ගේ භාරයට ගෙන තිබේ. රුපියල් නව ලක්ෂ අනූ අට දහසක් පමණ වටිනාකමකින් යුත් මෙම සතුන් තොගය සමඟ අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ කටුනායක රේගු නිලධාරීන් සහ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශ නිලධාරීන් එක්ව පෙරේදා (26) අලුයම සිදු කළ සෝදිසියකදීය.
මෙසේ නීතියේ රැහැනට කොටුවී ඇත්තේ මහනුවර, දිගන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු පනස් හයක පුද්ගලයෙකි. ඔහු පෙරේදා අලුයම් කාලයේදී තායිලන්තයේ බැංකොක් නුවර සිට තායි ගුවන් සේවයට අයත් ටී.ජී. 307 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇති බව අනාවරණය වී ඇත.
මෙම සැකකාර මගියාගේ ගමන් මල්ලේ ඉතා සූක්ෂම ලෙස සඟවා තිබූ කුඩු කිහිපයක සිටියදී මෙම සතුන් සොයාගෙන ඇත. ඒ අතර ගිනි පිග්, ලේනුන්, ලව් බර්ඩ්ස්, ෂුගර් ග්ලයිඩර්ස් සහ හෙජ් හොග් යන සත්ව විශේෂ වලට අයත් සුරතලුන් සිටි බව වාර්තා වේ.
මෙම නීති විරෝධී සත්ව ජාවාරම සම්බන්ධයෙන් කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අදාළ ගුවන් මගියාට රුපියල් දෙලක්ෂ පනස් දහසක දඩ මුදලක් ගෙවීමට නියම කර තිබේ. එසේම, නීති විරෝධීව මෙරටට ගෙන ආ එම සතුන් තිස් අට දෙනා යළිත් තායිලන්තයේ බැංකොක් නුවරටම රැගෙන යාම සඳහා තායි ගුවන් සේවය වෙත භාර දීමට ද බලධාරීන් විසින් පියවර ගෙන ඇත.

